ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    දහම් අධ්‍යාපනය වැඩිදියුණු කිරීම වෙනුවෙන් රජයෙන් ලබාදිය හැකි සෑම පහසුකමක්ම ලබාදෙනවා- ජනපති

    ජූලි 01, 2018

    යුගයේ අවශ්‍යතාවයක්ව පවතින දහම් අධ්‍යාපනය වැඩිදියුණු කිරීම වෙනුවෙන් ලබාදිය හැකි සියලු පහසුකම් ලබාදීමට රජයක් ලෙස කටයුතු කරන බව ජනාධිපතිතුමා පවසයි.

    මිනිසෙක් ලෙස ජීවිතය සාර්ථක කර ගැනීමට දහම් අධ්‍යාපනය වඩා වැදගත්වන බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ තිස්සමහාරාම ඓතිහාසික උද්ධකන්දර පුරාණ රජමහා විහාරස්ථානයේ පැවති පුණ්‍යෝත්සවයකට ඊයේ (30) පස්වරුවේ එක්වෙමිනි.

    ඓතිහාසික උද්ධකන්දර පුරාණ රාජමහා විහාරාධිපති පූජ්‍ය දෙනගම ධම්මදස්සි නායක හිමිපාණන් වහන්සේ වෙත සද්ධර්ම කීර්ති ශ‍්‍රී රේවත යන ගෞරව නාමය සහිත ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ රුහුණු මාගම්පත්තුවේ උප ප‍්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීම නිමිත්තෙන් මෙම පුණ්‍යෝත්සවය පැවැත්විණි.

    අද පස්වරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.

    විහාරස්ථානයේ අභිනව විහාර මන්දිරයේ රන් වැට සඳහා රන් කණුව ප‍්‍රතිෂ්ඨාපනය කිරීම සිදුවූයේ ද ජනාධිපතිතුමා අතිනි.

    විහාරස්ථානයේ අභිනව දහම් පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීමට අදාළ සමරු ඵලකය ද ජනාධිපතිතුමා අතින් නිරාවරණය කෙරිණි.

    ඉන් අනතුරුව පැවති උත්සව සභාවේදී ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ වෙහෙර විහාරස්ථාන සංවර්ධනය වෙනුවෙන් රජය ඇරඹු බෞද්ධ පුනරුද අරමුදල හරහා අඩු පහසුකම් සහිත විහාරස්ථාන සංවර්ධනය වෙනුවෙන් අද පුළුල් වැඩකොටසක් සිදුවෙමින් පවතින බවයි.

    විහාරස්ථානවල සංවර්ධනයට මෙන්ම ගෞරවණිය භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය පහසුකම් සැපයීමට සහ ධර්ම ප‍්‍රචාරණ හා බෞද්ධාගමික කටයුතු ඇතුළු ශාසනික සේවාව ශක්තිමත් කිරීමට කිසිදු අඩුපාඩුවකින් තොරව ලබාදිය හැකි ඉහළම අනුග‍්‍රහය ලබාදීමට රජය කටයුතු කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    විනයධර, ධර්මධර ස්වාමින්වහන්සේ නමක් වූ පූජ්‍ය දෙනගම ධම්මදස්සි නායක ස්වාමින්වහන්සේ ශාසනික වශයෙන්ම මෙන්ම ජාතික වශයෙන් ඉටුකරන මෙහවර ද මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක්විය. ඓතිහාසික උද්ධකන්දර රාජමහා විහාරාධිපති, තිස්සමහාරාම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි, සාම විනිසුරු පූජ්‍ය දෙනගම ධම්මදස්සි නායක හිමිපාණන් වහන්සේ පැවිදි බිමට පිවිසියේ 1987 නොවැම්බර් 08 වැනිදාය. උන්වහන්සේ එතැන් පටන් මේ දක්වා විහාරස්ථානයේ උන්නතිය හා චිර ජීවනය උදෙසා අද්විතීය සේවාවක් ඉටුකොට තිබෙන අතර ජපානය, ඉන්දියාව, තායිලන්තය සහ මැලේසියාව යන රටවල වැඩම කර ධර්ම දූත සේවාවෙහි නිරතව මහත් අත්දැකීම් සම්භාරයක් ද ලැබු යතිවරයාණන් වහන්සේ නමකි.

    අභිනව උප ප‍්‍රධාන සංඝනායක හිමිපාණන් වහන්සේ වෙත විජිණිපත පිළිගැන්වීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය.

    ඓතිහාසික උද්ධකන්දර රාජමහා විහාරස්ථානයේ පූජා භූමි ඔප්පුව ද ජනාධිපතිතුමා අතින් පූජ්‍ය දෙනගම ධම්මදස්සි නායක හිමිපාණන් වහන්සේ වෙත පූජා කෙරිණි.

    උන්වහන්සේ විසින් ද ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වීය.

    ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක ආචාර්ය පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක හිමිපාණන් වහන්සේ පුණ්‍යෝත්සවයේ මුලසුන හෙඹවූ අතර, මාතර කන්දබඩ පත්තුව ඇතුළු හම්බන්තොට දිසාවේ ප‍්‍රධාන සංඝානයක තිස්සමහාරාම සඳගිරි උභය විහාරාධිති ආචාර්ය පූජ්‍ය දේවාලේගම ධම්මසේන නායක හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ පළාතේ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියහ. අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුළු පළාතේ මැති ඇමතිවරු සහ සැදැහැවත් ජනතාව විශාල පිරිසක් පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya