ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    අර්බුදයට තුඩු දී ඇති පන්න ක්‍රම පිළිබඳ විධිමත් පරීක්ෂාවක් සඳහා කමිටුවක්

    මාර්තු 11, 2015
    ධීවර ක්ෂේත්‍රයේ ගැටලුවලට හේතු වී ඇති අර්බුදකාරී පන්න ක්‍රම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියා මාර්ග නිර්දේශ කිරීම සඳහා  කමිටුවක් පත් කරන ලෙස ධීවර අමාත්‍ය ජෝසප් මයිකල් පෙරේරා මහතා පෙරේදා (09) අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. සමස්ත ලංකා මාදැල් සමුපකාර සමිතියේ නියෝජිතයන් සිය ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේ මෙම උපදෙස් නිකුත් කෙරිණ.
     
    නීතියෙන් තහනම් කර නැති, එහෙත් බලපත්‍ර නිකුත් නොකෙරන ඇතැම් පන්න ක්‍රමයන්ට ( ලයිලා දැල් සහ සුරුක්කු දැල් වැනි) මීට පෙර වසරවල දී විශේෂ අවසරයක් මත බලපත්‍ර සීමිත ප්‍රමාණයක් විශේෂිත ප්‍රදේශ කිහිපයකට පමණක් නිකුත් කර තිබේ. එහෙත් මෙම පන්න ක්‍රම ඔස්සේ මත්ස්‍ය සම්පත විනාශ කෙරෙන බවට සාම්ප්‍රදායික පන්න ක්‍රමයන් මඟින් ධීවර කර්මාන්තයේ නියුතු ධීවරයෝ චෝදනා කරති. මෙවැනිම චෝදනාවක් මාදැල් ධීවර නියෝජිතයන් විසින් ද මතුකළ අතර, ඒ අනුව පරීක්ෂණ කටයුතු කඩිනම් කරන ලෙස අමාත්‍යවරයා නාරා ආයතනයට උපදෙස් ලබා දෙන ලදී.
     
    ධීවර රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් හෙට්ටිආරච්චි මහතාට අදාළ කමිටුවට සාමාජිකයන් නම් කරන ලෙස උපදෙස් දුන් ධීවර අමාත්‍යවරයා ඊට විශේෂඥ සහය ලබා දෙන්නැයි නාරා ආයතනයේ නිලධාරීන්ට දැනුම් දුන්නේය. එම කටයුතු නාරා ආයතනයේ සමුද්‍රජීව විද්‍යා ඒකකයේ ප්‍රධාන විද්‍යාඥ ආර්.මල්දෙණිය මහත්මිය සිදු කිරීමට නියමිතය. ප්‍රශ්නගත පන්න ක්‍රම හේතුවෙන් ධීවර දෙපිරිසක් අතර මතබේදයක් නිර්මාණය වී ඇති කල්පිටිය ප්‍රදේශය සම්බන්ධයෙන් අදාළ පරීක්ෂණයේ දී වැඩි අවධානයක් යොමු කරන ලෙස ද උපදෙස් නිකුත් කෙරිණ. මෙම කමිටුව විසින් සිදු කරන පරීක්ෂාවෙන් අනතුරුව අදාළ ප්‍රශ්නගත පන්න ක්‍රම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව ද අමාත්‍යවරයා මාදැල් කර්මාන්තකරුවන්ට දැනුම් දුන්නේය.
     
    මෙහිදී මාදැල්කරුවන්ගේ ගැටලු සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. මාදැල්කරුවන් මෙහිදී ඉල්ලා සිටියේ අමාත්‍යංශය ධීවරයන් වෙනුවෙන් ගනු ලබන තීරණ ප්‍රාදේශීය මට්ටමේ ක්‍රියාත්මක වීමේ දී ඇතැම් නිලධාරීන් වෙතින් ගැටලු පැන නගින බවයි. ඒ අනුව ගන්නා තීරණ සම්බන්ධයෙන් සියලු ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
     
    එසේම මාදැල්කරුවන් මෙහිදී පෙන්වා දුන්නේ කර්මාන්ත කටයුතු සඳහා අවශ්‍ය මාදැල් මඬි වැනි උපකරණ වෙළෙඳපොළේ හිඟයක් ලෙස පවතින බවයි. එවැනි උපකරණ ගෙන්වා දීමේ දී කිසියම් සහනයක් සලසන්නැයි ඔවුහු ඉල්ලීමක් කළහ. බදු නිදහසක් යටතේ එම උපකරණ ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයක් සකසන ලෙස එහිදී අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya