ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    මෙරට ජල මූලාශ‍්‍ර, පෝෂක ප‍්‍රදේශ සහ ජල ද්‍රෝනි ආරක්‍ෂා කර ගැනීමට විශේෂ කාර්ය සාධක බලකායක්

    මාර්තු 23, 2015
    ජල මූලාශ‍්‍ර සහ ජල ද්‍රෝනි ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ඒ පිළිබඳ කාර්ය සාධක බලකායක් පිහිටුවීම සඳහා ඉතා කඩිනමින් කැබිනට් සංදේශයක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇතැයි නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය රවුෆ් හකීම් මහතා සඳහන් කරයි. 
     
    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මෙවර ලෝක ජල දිනය නිමිත්තෙන් ඊයේ (22) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති ජාතික සැමරුම් උත්සවය අමතමිනි. 
     
    නාගරික සංවර්ධන, ජල සම්පත් හා ජලාපවහන අමාත්‍යංශයේ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය එක්ව සංවිධානය කර තිබූ මෙම  සමුළුවට අමාත්‍යවරයා මෙන් ම අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද යන මහත්වරුන් ඇතුළු ආරාධිතයන් රැසක් එක්ව සිටියහ. 
     
    ජලය සහ තිරසාර සංවර්ධනය යන්න මෙවර ලෝක ජල දින සැමරුමේ තේමාව විය. 
     
    ජල කළමනාකරණයට අදාළ ව නූතන බටහිර මතවාද සහ සංකල්ප, සංවාද ආරම්භ වීමට සියවස් ගණනාවකට දුරාතීතයේ ශ‍්‍රී ලාංකිකයන් සතු විද්‍යාත්මක හා තිරසාර ජල කළමනාකරණ වැඩපිළිවෙළක් සහ දැක්මක් තිබූ බව මෙහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහතා සඳහන් කළේය. 
     
    පොලොන්නරු යුගයේ දී මෙරට බත බුලතින් සශ‍්‍රීක කළ මහා පැරකුම්බා නිරිඳු වරෙක සඳහන් කර ඇත්තේ අහසෙන් වැටෙන එකඳු දිය බිඳකුදු පළ ප‍්‍රයොජනයකින් තොරව සයුරට ගලා යාමට ඉඩ නොදිය යුතු බවත් ජල සම්පත අරබයා වසර දහස් ගණනකට පෙරාතුව පවා අප සතුව තිබූ විද්‍යාත්මක දැක්ම අදටත් එපරිද්දෙන්ම ගැළපෙන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා ඩී.එස්. සේනානායක මැතිතුමා ඇතුළු නූතන ශ‍්‍රී ලංකාවේ වාරි පද්ධතිය ඇතුළු ජල කළමනාකරණයට අදාළ ව දර්ශනය වූයේ ද එම පැරකුම්බා පිළිවෙත බව සිහිපත් කළේය. 
     
    මෙවර ලෝක ජල දිනය සමරන විට ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය නායකත්වය ඓතිහාසික පොලොන්නරු පුරවරයෙන් සපැමිණි මෛත‍්‍රීපාල සිරිසේන මැතිඳුන්ට හිමිව තිබීම ද දෛවෝපගත කටයුත්තකැයි කී හෙතෙම එතුමා මහවැලි සංවර්ධන කෘෂිකර්මාන්ත මෙන් ම, පාරිසරික යන අමාත්‍යංශය හොබවමින් මෙරට ජල සම්පත ආරක්ෂා කිරීමටත් කළමනාකරණය කිරීමටත් මනා පූර්වාදර්ශ සපයා දී ඇතැයි ද කීය. 
     
    ලොව පුරා ජන ඝනත්වය වැඩිවීමත් සමග විධිමත් ජල කළමනාකාරීත්වයක අවශ්‍යතාවය මුළු ලොවටම එක හා සමාන වැදගත් සාධකයක් බවත් සංවර්ධන ප‍්‍රවේශයේ දී ජලය තිරසාර ලෙස භාවිත කිරීමේ අවශ්‍යතාවය කලාපීය වශයෙන් ද ජගත් ප‍්‍රජාව වශයෙන් ද අවධානයට යොමුව ඇතැයි කී අමාත්‍ය රවුෆ් හකීම් මහතා කෙසේ වෙතත් ජාත්‍යන්තර වශයෙන් සාමූහිකව විධිමත් ජල කළමනාකරණයක් සඳහා විදුහුරු ක‍්‍රමවේදයක අවශ්‍යතාවය මේ වන විට බරපතල ලෙස මතුව ඇතැයි ද සඳහන් කළේය. 
     
    මෙරට ජල මූලාශ‍්‍ර ජල පෝෂක ප‍්‍රදේශ සහ ජල ද්‍රෝනි ආරක්‍ෂා කර ගැනීමේ අරමුණින් කාර්ය සාධක බලකායක් නුදුරේදී ම පිහිටුවන බව කී ඇමතිවරයා ඒ සඳහා වූ කැබිනට් සංදේශය ඉතා නුදුරු දිනෙක අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කොට අවශ්‍ය අනුමැතිය ලබාගැනීමට කටයුතු කරන බව හෙළි කළේය.
     
    මෙහිදී ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අභිවෘද්ධිය උදෙසා දීර්ඝ කාලීන වශයෙන් සුවිශාල වූ මෙහෙවරක් ඉටු කළ නිලධාරීන් හා සේවක මහත්ම මහත්මීන් ඇගයීම ද මෙහිදී සිදු කෙරුණු අතර ලෝක ජල දිනය වෙනුවෙන් දීප ව්‍යාපෘත් ව පාසල් අතර පැවැත්වූ විවිධ තරග ඉසව්වන් හි ජයග‍්‍රාහක ග‍්‍රාහිකාවන්ට ත්‍යාග ප‍්‍රදානය කිරීම ද සිදුවිය.
     
    මෙහිදී ප‍්‍රධාන දේශනය මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජිත් ද අල්විස් මහතා විසින් සිදු කරන ලද අතර එම අවස්ථාවට නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යංශයේ ලේකම් ඉංජිනේරු කරණාසේන හෙට්ටිආරච්චි, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු කේ. ඒ. අන්සාර්, සාමාන්‍යාධිකාරි ඉංජිනේරු බී. ඩබ්. ආර්. බාලසූරිය යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya