ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    මාර්ග අනතුරු නිසා වයස අවුරුදු 20ට අඩු දරුවන් 215 දෙනෙකු පමණ වසරකට මියයනවා

    මැයි 07, 2015
    ශ්‍රී ලංකාවේ වසරකට වයස අවුරුදු 20ට අඩු දරුවන් 215 දෙනෙකු පමණ මාර්ග අනතුරු නිසා මියයන බවත් දවස් දෙකකට වරක් එක් දරුවෙකු මියයන අතර අද වැඩි පිරිසක් රෝහල්ගත වන්නේ මාර්ග අනතුරු හේතුවෙන් බවත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
     
    "ළමා හා මාර්ග ආරක්ෂාව" යන්න තේමා කොටගනිමින් පසුගිය 04දා සිට ලබන 10 දින දක්වා යෙදී ඇති ගෝලීය මාර්ග ආරක්ෂා සතිය නිමිත්තෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග ඒකකය මඟින් මාර්ග අනතුරු පිළිබඳ ව ජනතාව දැනුවත් කිරීම සඳහා පුළුල් ජාතික වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කර ඇත. එහි එක් අවස්ථාවක් අද (07) කොළඹ ආනන්ද විද්‍යාලයේ පැවති අතර එම උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.
     
    මෙහිදී පොලිස් රථවාහන අංශය මඟින් මාර්ග අනතුරු පිළිබඳ ව පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා තිබූ  අතර, මේ සඳහා පාසල් 10කට අධික ළමුන් සහභාගී කර ගැනීම විශේෂත්වයකි. පාසල් දරුවන් ප‍්‍රවාහනය කරනු ලබන බස්රථවල මාර්ග අනතුරු වලක්වා ගැනීම සඳහා උපදෙස් ඇතුළත් ස්ටිකර් ඇළවීමේ වැඩසටහනක් ද අද දින ක‍්‍රියාත්මක කරනු ලැබීය.
     
    මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා, "අද අපි මේ මාර්ග සංරක්ෂණ සතිය සමරන අවස්ථාවක්. මම ඉතාමත් සතුටු වෙනවා මගේ පාසලට ඇවිල්ලා මේ මාර්ග සංරක්ෂණ සතිය පවත්වන්න ලැබීම ගැන. ඔය දරුවන්ගේ වයසේ මමත් හිටියා. මම පාසලට ආවා. මට නම් පාසල් බස් සේවයේ ප‍්‍රශ්නයක් තිබුනේ නැහැ. ඒ කාලෙට වඩා අද මාර්ග පද්ධතිය සංකීර්ණයි. වාහන විශාල සංඛ්‍යාවක් මිලියන ගණනාවක් ලියාපදිංචි වෙලා තිබෙනවා.
     
    දරුවනේ අවුරුද්දකට ලෝකයේ මිලියන 1.3ක්, එනම් ලක්ෂ 13ක් මාර්ග අනතුරුවලින් පමණක් මිය යනවා. 2020 වනවිට මේක ලක්ෂ 19 දක්වා වැඩිවෙයි කියලා අපි හිතනවා. ඒ වගේම මාර්ග අනතුරු නිසා දරුවන් මියයෑමත් ඉහළ ගොස් තිබෙනවා. මාර්ග අනතුරු හේතුවෙන් ලෝකයේ පසුගිය අවුරුද්දේ වයස 18ට අඩු දරුවන් 1,86,300ක් මියගිහිල්ලා තිබෙනවා. හැම විනාඩි 04කට ම එක දරුවෙක් හදිසි අනතුරු නිසා ලෝකයේ මියයනවා. අද වැඩියෙන්ම රෝහල්ගත වන්නේ මාර්ග අනතුරුවලින් වන අතර මාර්ග අනතුරු අඩුකර ගත්තොත් අපිට වඩා පහසුවක් වන්නේ රෝහල්වල අද පවතින තදබදය අඩුකර ගත හැකි නිසයි.
     
    මේ ආකාරයෙන් මාර්ග අනතුරු නිසා සියයට 90ක් මියයන්නේ දියුණු වෙමින් පවතින රාජ්‍යයන්වලයි. එංගලන්තය, ජපානය වගේ දියුණු වූ රාජ්‍යවල මාර්ග අනතුරු නිසා මියයන සංඛ්‍යාව අඩුයි. මෙම රටවල මාර්ග පද්ධති ඉතාමත් ඉහළයි. වාහන පැදවීම ඉතාම සංවරව සිදුකෙරෙන්නේ. ඒ අනුව මාර්ග අනතුරු ඉහළයාම හේතුව නිසා තමයි 2011 සිට 2020 දක්වා අනතුරු වැලැක්වීමේ දශකයක් ලෝකයට ප‍්‍රකාශ කර තිබෙන්නේ. තරුණයින්ගේ චර්යාධර්ම, නව නූතන පරපුර විනයක් නැතිව පාරේ ගමන් කරන්නේ. අද මෙම වැඩසටහන කොළඹ ආනන්ද විද්‍යාලයේ දී කොළඹ රථවාහන පොලීසියත්, මරදාන පොලීසියේ රථවාහන අංශයත් එක්ව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග ඒකකයේ සංවිධානයෙන් පැවැත්වීමට කටයුතු කළා. මෙවැනි වැඩසටහන් මඟින් අපේක්ෂා කරන්නේ මාර්ග අනතුරු අවම කර ගැනීමට ජනතාව දැනුවත් කිරීම යැයි ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය."
     
    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී පී. දයාරත්න, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩී.එම්.ආර්.බි දිසානායක, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, බෝනොවන රෝග ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග, කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති කිත්සිරි ලියනගමගේ යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya