ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ‘අපේ බලාපොරොත්තුව වතුකරයේ ජනතාවගේ ප්‍රජාවක් ඇති කිරීමයි‘

    මැයි 12, 2015

    අපේ බලාපොරොත්තුව ලයින් කාමර වෙනුවට තවත් අලුතින් ලයින් කාමර ලබාදීම හෝ ලයින් කාමර තිබුණු තැන අලුත් නිවසක් ඉදිකිරීම නොව, ඒ ජනතාවගේ ප්‍රජාවක් ඇති කිරීම බවත් නිවාස, ප්‍රජා ශාලා, කඩ සාප්පු ඇති කිරීම සඳහා ගමක් ලබා දිය යුතු බව හා යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය මගින් සිදු කරන්නේ ඒ වැඩ  කටයුතු බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

     

    අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කම්කරු ජාතික සංගමයේ ස්වර්ණ ජයන්තිය හා වතු ජනතාවට හරිත භූමි ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම නිමිත්තෙන් පසුගියදා (10) වැනි දින තලවකැලේ ක්‍රීඩාංගනයේ පැවැති උත්සවයේ දී අදහස් දක්වමිනි.

     

    තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසීය.

     

    “මේ අපේ ගම යැයි ඔවුන්ගේ ගම පෙන්වීමට අර්ජුන රණතුංග ඇමැතිතුමාට, රාවුෆ් හකීම් ඇමැතිතුමාට, කේ. පියදාස මන්ත්‍රීතුමාට, හේමචන්ද්‍ර මැතිතුමාට, අශෝක හේරත් මැතිතුමාට හැකියාව තිබෙනවා. නමුත් වතුකරයේ සිටින මේ ද්‍රවිඩ ජනතාවට ගමක් ඇත්තේ නැහැ. අපි අද ඔවුන්ට ඔවුන්ගේ ගම ලබා දී තිබෙනවා. ඔබේ ගම දියුණු කිරීම ඔබේ යුතුකමක් වන අතර ඒ සඳහා උදව් කිරීමට අප සූදානම්.


    වැවිලි සමාගම්වලින් අවශ්‍ය ඉඩම් වෙන් කර දී ගැනීම සඳහා වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කේ. වේලායුදන් මහතා විශේෂ කාර්ය භාරයක් ඉටු කළා. මේ පිළිබඳව සොයා බලා අවශ්‍ය අයට කතා කර වැවිලි සමාගම්වලින් වතුකරයේ ජනතාවට අවශ්‍ය ඉඩම් වෙන් කර දෙන්නැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතාට සහ වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කේ. වේලායුදන් මහතාට මා දැනුම් දුන්නා. මේ කටයුතු ඉටු කර දුන් පසු පී. දිගම්බරම් අමාත්‍යතුමාගේ වැඩ කටයුතු පහසු වන අතර එතුමාට තිබෙන්නේ මේ ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකර දීම පමණයි. එම නිවාස ඉදිකිරීම සඳහා මේ වන විට ඉන්දීය ආණ්ඩුවෙන් ද මූලික ආධාර ලබා දී තිබෙන අතර දැන් තිබෙන්නේ එම වැඩ කටයුතු ආරම්භ කිරීම පමණයි.

     

    මට අවශ්‍ය වන්නේ වතුකරයේ අලූත් ගම්මාන ඇති කර එම ගම්මාන අවට නගරවල තත්ත්වයට ගෙන ඒම පමණක් නොවන අතර, ගිනිගත්හේන හා කොත්මලේ ප්‍රදේශවල පිහිටි නොදියුණු සිංහල, මුස්ලිම් ගම්මාන ද ඒ ආකාරයටම දියුණු කිරීමයි. එම ගම්මාන ද දියුණු කිරීම අපේ වගකීමක් වන අතර එම කටයුතු ද ඒ ආකාරයටම ඉටු කරන බව මා කියා සිටිනවා. සිංහල, දෙමළ සහ මුස්ලිම් භේදයකින් තොරව සෑම ගම්මානයක්ම දියුණු කිරීමට අප කටයුතු කරනවා.

     

    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා යටතේ මේ ආණ්ඩුව ඇති කර තිබෙන්නේ මේ වැඩ කරන කම්කරු, ගොවි, මධ්‍යමපාන්තික ජනතාව වෙනුවෙනුයි. අප වතුකරයේ ජනතාවට නිවාස ලබා දුන් අතර අධ්‍යාපනය දියුණු කිරීමට ද අප කටයුතු කරනවා. එමෙන්ම ක්‍රීඩා හා යෞවන කටයුතු පහසුකම් ලබාදී තිබෙනවා.

     

    රාජපක්‍ෂ රෙජීමය වැඩ කටයුතු කළේ ධනපති හෙංචයියන් වෙනුවෙන් වන අතර ඒ කාලය තුළ ඔවුන් විශාල ලෙස හම්බ කළා. පාරවල් හදා කොමිස් ගනිමින්, දූෂණය මගින් මුදල් ලබා ගනිමින් මුදල් හම්බ කළේ ඒ අයයි. නමුත් ජනතාවගේ අතට මුදල් ලැබුණේ නැහැ. ධනපති හෙංචයියන් සහ කෑගසන අයට සිටින්නේ රාජපක්‍ෂ රෙජීමයයි. මේ රටේ වැඩ කරන ජනතාවට, ගොවි ජනතාවට, ධීවර ජනතාවට සහ මධ්‍යම පාන්තිකයා වෙනුවෙන් සිටින්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඇතුළු වත්මන් ආණ්ඩුව බව කිව යුතුයි.

     

    අද අප ආරම්භ කර තිබෙන විප්ලවය තහවුරු කිරීමට පාර්ලිමේන්තුවේ විශාල ජන වරමක් ලබා ගෙන ඉදිරියට යමු.“ යැයි වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya