ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    “පහසුවෙන් ව්‍යාපාර පවත්වා ගෙනයාම” ව්‍යාපාරික හමුවීම් මාලාවේ සමාරම්භක හමුවක් අද

    මැයි 14, 2015
    “පහසුවෙන් ව්‍යාපාර පවත්වා ගෙනයාම”යන තේමාව යටතේ ව්‍යාපාරවලට පහසුකම් සැලසීම සඳහා රාජ්‍ය ආයතන හා පෞද්ගලික ව්‍යාපාර අංශය අතර හමුවීම් මාලාවක් පැවැත්වීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මෙම හමුවීම් මාලාවේ සමාරම්භක හමුව අද (14) ප.ව. 2.00ට මුදල් අමාත්‍යාංශයේ “මිලෝදා”  මූල්‍ය අධ්‍යයයන ආයතනයේදී පැවැත්වීමට නියමිතය.    
                
    ව්‍යාපාර පවත්වා ගෙන යාමේදී පැනනගින කාර්යපරිපාටි හා නියාමන ගැටලු හඳුනාගැනීම සහ ඊට අදාළ විසඳුම් ලබාදීම මෙම හමුවීම් මාලාවේ ප්‍රධාන අරමුණ වේ. මෙමඟින් රාජ්‍ය ආයතන සමග අන්‍යොන්‍ය අවබෝධයෙන් යුතු ව කටයුතු කිරීමට සහ ස්වකීය ගැටලු කඩිනමින් විසඳාගැනීමට පෞද්ගලික අංශයට ඉඩප්‍රස්ථා සැලසෙනු ඇත.
     
    මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන්, විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක, නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය රවූෆ් හකීම්, සංචාරක කටයුතු අමාත්‍ය නවින් දිසානායක, ඉඩම් අමාත්‍ය එම්.කේ.ඒ.එස්. ගුණවර්ධන, මුදල් අමාත්‍ය රවි කරුණානායක යන අමාත්‍යවරුන්ගේ මූලිකත්වයෙන් මෙම හමුවීම් මාලාවේ ආරම්භක සැසිය පැවැත්වේ.
     
    මුදල් අමාත්‍යාංශයේ සහ මහාභාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ප්‍රතිපත්ති සැලසුම්, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කේ. ලියනගේ යන මහත්වරුන් ඇතුලු සියලු ම අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම සමාරම්භක සැසියට හා මෙකී කර්තව්‍ය සඳහා ප්‍රතිපත්ති සැලසුම්, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ උපදේශක ආර්. පාස්කරලිංගම් මහතා ස්වකීය විශේෂඥ දැනුම ලබාදෙනු ඇත.
     
    මෙම සමාරම්භක සැසියට සහභාගි වන ලෙස දිවයිනේ සියලු ම ව්‍යාපාර මණ්ඩලවලට ආරාධනා කර ඇති අතර, රාජ්‍ය ආයතන රැසක නිලධාරීන් ද මෙම හමුවට සහභාගිවීමට නියමිතය. ආරම්භක අවස්ථාවේදී මෙම ව්‍යාපාරික හමුවන් මාසිකව පැවැත්වෙන අතර නිශ්චිත යාන්ත්‍රණයක් කඩිනමින් ස්ථාපිත කර නියමිත කාලසටහනකට අනුව අඛණ්ඩව මෙම හමුවීම් පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරෙනු ඇත.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya