ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    පෝෂණ මළු බෙදාදීමේ වැඩපිළිවෙළ දැන් රටපුරා ක්‍රියාත්මකයි

    මැයි 22, 2015
    අපේ රටේ අවුරුද්දකට දරුවන් ලක්ෂ 04 ක් පමණ උපදින අතර එම දරුවන්ගෙන් 5/1ක් පමණ අඩු බර දරුවන් හා 
    සමහර දරුවන් හෘදරෝග ඇති මන්ද බුද්ධික දරුවන් විදියට උපදින බවත් නිසි පෝෂණයක් නොමැතිවීම මෙහි මූලික හේතුව ලෙස සොයා ගත් නිසා සෑම ගැබිණි මවකටම රුපියල් 2000ක වටිනාකම් ඇති පෝෂණ මල්ලක් ලබා දීමේ කටයුතු මේ රජය ආරම්භ කර තිබෙන බවත් ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
     
    ගැබිණි මවක් වී මාස 04ක කාලයේ සිට දරුවෙක් ලැබී මාස 04ක් ගත වන තුරු මෙම පෝෂණ මල්ල ලැබීමට සෑම ගැබිණි මවක්ම හිමිකම් ලබනවා. මන්ද පෝෂණ නොමැති හොඳ දරු පිරිසක් අනාගතයේ රටට දායාද කිරීම මූලික කොටගත් මෙම වැඩපිළිවෙළ  දැන් රට පුරාම ක‍්‍රියාත්මක වෙනවා. මීට පෙර පැවැති ආණ්ඩුවලින් කළා සේ කිසිම නිලධාරියෙකුට මෙම පෝෂණ මළු දීමනාවට අතගැසීමට කිසිම ඉඩක් නොමැති බවත් පාට, පක්ෂ, ආගම් භේදයකින් තොරව මෙය රටපුරාම ක‍්‍රියාත්මක කෙරෙන බවත් අමාත්‍යවරයා පැවසීය.
     
    බෙන්තර ඇල්පිටිය මැතිවරණ කොට්ඨාසයේ ඉඳුරුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ දී ගැබිණි මව්වරුන්ට රජය විසින් ලබා දෙනු ලබන පෝෂණ මළු භාරදීමේ අවස්ථාවට එක්වෙමින් ඇමතිවරයා මෙම අදහස් පළ කරන ලදී.
     
    මෙහිදී ගැබිණි මව්වරුන් 87 දෙනෙකු සඳහා පෝෂණ මළු බෙදා දීම සිදු කෙරුණි. බෙන්තොට ප‍්‍රදේශීය ලේකම් කාර්යාලයේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම පෝෂණ මළු බෙදා දීම සිදු කෙරුණි.
     
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනමාධ්‍ය අමාත්‍යවරයා, ළමා කටයුතු ඇමතිනී රෝසි සේනානායක මහත්මියගේ විශේෂ ඉල්ලීමක් තිබුණා ගාල්ල දිස්ත‍්‍රික්කය තුළ පෝෂණ මළු බෙදාදීම පිළිබඳව සොයා බලන ලෙසට. අපි විශේෂයෙන් මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කරන නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා මෙම පෝෂණ මළුවල අඩංගු ආහාර ද්‍රව්‍යවල ප‍්‍රමිතිය පිළිබඳව සැලකිලිමත් වන ලෙස. ඒ අනුව සෑම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයකම මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ විශේෂ අධීක්ෂණයක් මේ සඳහා ලැබී තිබෙනවා.
     
    ලෝකයේ උතුම්ම මව් පදවිය ලැබීමට ඉන්න මේ සියලු දෙනාටම ත‍්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් නිරෝගිමත් දරුවන් ලැබීමට වාසනාව ලැබේවායි ඇමතිවරයාගේ ප‍්‍රාර්ථනාව විය. ඉඳුරුව, ගල්තුඩුව, ගෝනගලපුර, හඹුරුගල මධ්‍යම බෙහෙත් ශාලාව සහ තුන්දූව ප‍්‍රදේශවලදී ගැබිණි මව්වරුන්ට පෝෂණ මළු බෙදා දීම සිදු කෙරුණි. සෑම මසකටම රුපියල් 2000ක වටිනාකම් ඇති පෝෂණ මල්ලක් ලබා දෙන අතර මාස 10ක් පුරා රුපියල් 20,000ක් වැනි විශාල මුදලක් එක් ගැබිණි මාතාවක් සඳහා රජය මඟින් වැය කරන බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya