ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    විශ්ව ගම්මාන සංකල්පයේ පාර්ශවකරුවෙකු නොවී හුදෙකලාව සිටීමට කිසිම රටකට හැකියාවක් නැහැ

    ජූනි 15, 2015
    විශ්ව ගම්මාන යථාර්ථය තුළ රටේ වර්තමාන හා අනාගත සංවර්ධන ඉලක්කයන් සපුරා ගැනීම සඳහා ශ‍්‍රී ලංකාවට ද නව ලෝකයේ තොරතුරු ඒකරාශි කරගනිමින්, දැනුම හුවමාරු කරගනිමින් හා නිරන්තරයෙන් සෙසු රාජ්‍යයන් සමඟ සන්නිවේදන කටයුතු කරමින් තමන්ගේ විශ්ව ගම්මාන සාමාජිකත්වය තහවුරු කර ගැනීමට කටයුතු කළ යුතු බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (15) ගලදාරි හෝටලයේ පැවති ආනන්ද විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ සංගමයේ වාර්ෂික තොරතුරු තාක්ෂණ දිනය සමරමින් පැවති උත්සවයට එක්වෙමිනි.
     
    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය. "2010 සිට 2014 දක්වා වසර 04ක් මයික්‍රොසොෆ්ට් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී තනතුර හෙබවූ ස්ටීව් බෝල්මර් මහත්මයා කළ මෙන්න මේ ප‍්‍රකාශයෙන් මගේ කතාවට ප‍්‍රවේශයක් ලබාගන්නට කැමතියි. තොරතුරු තාක්ෂණයේ ඇති ප‍්‍රධාන ම ප‍්‍රතිලාභය වන්නේ මිනිසාට කිරීමට අවශ්‍ය දේ ඉටුකිරීමට අවශ්‍ය පිටුබලය ලබාදීමයි. එමඟින් නිර්මාණශීලී, ඵලදායී ජනතාවක් බිහිකරනවා.  මින් පෙර කිසි කලෙකත් තමාට ඉගෙන ගැනීමට හැකි වෙතැයි නොසිතූ දේ ඉගෙන ගැනීමට අවශ්‍ය අවකාශය මිනිසුන් වෙත සලසා දෙනවා. එය මුළුමනින්ම මානව හැකියාවන් පිළිබඳ ප‍්‍රකාශනයක් ලෙස සැලකිය හැකියි.
     
    තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ විශේෂඥයෙකු විසින් කරන ලද මෙම ප‍්‍රකාශයේ හරය ගත්විට තොරතුරු තාක්ෂණය ඉගෙන ගැනීම මඟින් යමෙක් තමාගේ දැනුම වර්ධනය කරගනිමින් නිර්මාණාත්මක කුසලතාවයන් නංවා ගන්නා අතර මේ සියල්ලටමත් වඩා වැදගත් කාර්යයකුත් සිදුකරගන්නා බව ගම්‍ය වෙනවා. එය තමයි පෞරුෂ වර්ධනය. වඩාත් පැහැදිලිව කියනවා නම්, තමාට ඵලදායී, නිර්මාණාත්මක කාර්යයක් කළ හැකි බවට වන හැඟීම හදවතට ඇතුළු කිරීමෙන් නොනැවතී තොරතුරු තාක්ෂණ විෂයය විසින් ඔබ එම නිර්මාණාත්මක මාර්ගයේ, එම ඵලදායී මාර්ගයේ ඉදිරියට ගෙන යාමට අවශ්‍ය පරිසරය ද සකස් කර දෙන බවයි මේ ප‍්‍රකාශයේ අදහස.
     
    මෙන්න මේ විදිහට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඉගෙන ගැනීමේ වටිනාකම පිළිබඳ ව යම් තක්සේරුවක් ලබාගනිමින්ම, ආනන්දීයයන් ඔවුන්ගේ වාර්ෂික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දිනය සමරන මේ අවස්ථාවට එහි ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවීමට මා හට ලැබුණු මෙම අවස්ථාව පිළිබඳ ව අතිශයින් සතුටුවන බවත් සඳහන් කරන්නට කැමතියි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ දියුණුවත් සමඟ දවසින් දවස අපගේ ලෝකය - මේ මුළු විශ්වයම - කුඩා වෙමින්, විශ්ව ගම්මානයක් බවට පරිවර්තනය වෙමින් තිබෙන මේ යුගයේ මේ විෂයය ප‍්‍රගුණ කිරීමේ වැදගත්කම හා කාලීන අවශ්‍යතාව අමුතුවෙන් අවධාරණය කළ යුතු නැහැ. අද දවසේ විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුවත් සමඟ ලෝකය ඉදිරියට ගමන් ගන්නා වේගය සලකා බලන විට, මේ විශ්ව ගම්මාන සංකල්පයේ පාර්ශ්වකරුවෙකු නොවී හුදෙකලාව සිටීමට, ඒ රැල්ලෙන් පිට පැන අතරමංවීමට කිසිම රටකට හැකියාවක් ඇත්තේ නැහැ. ඒ නිසා මේ විශ්ව යථාර්ථය තුළ රටේ වර්තමාන හා අනාගත සංවර්ධන ඉලක්කයන් සපුරා ගැනීම සඳහා ශ‍්‍රී ලංකාවට ද නව ලෝකයේ තොරතුරු ඒකරාශි කරගනිමින්, දැනුම හුවමාරු කරගනිමින් හා නිරන්තරයෙන් සෙසු රාජ්‍යයන් සමඟ සන්නිවේදන කටයුතු කරමින් තමන්ගේ විශ්ව ගම්මාන සාමාජිකත්වය තහවුරු කර ගැනීමට සිදුවෙනවා. 
     
    මේ කාරණය නිසාම තමයි තොරතුරු තාක්ෂණ විෂයය පාසල් විෂය මාලාව තුළට ඇතුළු කරමින් රජය මෙම නූතන අවශ්‍යතාවට නිසි පිළිගැනීම ලබා දී තිබෙන්නේ. පාසල් සිසුන් තමයි අපේ රටේ අනාගතය. ඒ නිසා ම නව ලෝකය තුළ රටක පුරවැසියන් වනවා හා සමානවම වැදගත්වන විශ්ව පුරවැසියන් වීමේ අවශ්‍යතාව සපුරාගැනීමට අවශ්‍ය දැනුමින් හා කුසලතාවන්ගෙන් මේ සිසු පරපුර සන්නද්ධ කිරීම යුගයේ අවශ්‍යතාවයක්.
     
    මෙන්න මේ වගේ වටපිටාවක තොරතුරු තාක්ෂණය කියන විශ්ව ගම්මානයේ යතුර අත රැඳී සක‍්‍රීය පුරවැසියන් අපේ රට තුළින් බිහිකිරීමට ගන්නා උත්සාහයට ආනන්ද විද්‍යාලයේ තොරතුරු හා සන්නිවේදන සමාජයට මාගේ සුබපැතුම් පිරිනැමීමට කැමතියි. අධ්‍යාපන කටයුතුවලදී මෙන්ම ක‍්‍රීඩා අංශවල දී ද අද්විතීය නමක් දිනූ සාඩම්බර ඉතිහාසයක් හා නිකැළැල් කීර්ති නාමයක් ආනන්දීයයන් සතුයි. මෙවර "චමත්කාර 2015" තුළින් නව ලොව කරා යන ගමනේද පෙරගමන්කරුවන් වී තම විශිෂ්ටත්වය නැවතත් සනාථ කරන්නට ඔවුන් ගන්නා උත්සාහය ප‍්‍රශංසනීයයි. මෙම වැඩසටහන තුළ ඉගෙනීම රසවිඳින අතරම සිසුන්ගේ දැනුම හා කුසලතාවන් නංවාලීම ඉලක්ක කරමින් සංවිධානය කර ඇති ඉගෙනුම් ඉසව් ගණනාවක් තිබෙනවා. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප‍්‍රහේලිකා තරග, වැඩමුළු, ත්‍යාග ප‍්‍රදානයන්, සාමුහික ඉදිරිපත් කිරීම් හා සාකච්ඡා ආදිය ඇතුළත් අධ්‍යාපන මනෝ විද්‍යාත්මක ප‍්‍රවේශයක් මඟින් මෙම විෂය සැහැල්ලුවෙන් හා විනෝදයෙන් ප‍්‍රගුණ කිරීමට සිසුන්ට අවස්ථාව ලබාදීම ද ඇගයිය යුතුයි. දිවයිනේ ප‍්‍රධානතම පාසැල් මූලික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඉගෙනුම් අංගය සංවිධානය කරන අතරම, රට පුරා විසිරී තිබෙන තවත් පාසල් 50ක සිසුන්ගේද සහභාගිත්වය ලබාගනිමින් මෙම අධ්‍යාපනික කටයුත්තේදී රට පුරා තොරතුරු තාක්ෂණ දැනුම, අවබෝධය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් බවටත් ආනන්ද විද්‍යාලය පත්කිරීමට හැකි වී තිබෙනවා. 
     
    කාලීන අවශ්‍යතාවන් හඳුනාගනිමින් අනාගත ලෝකය වෙත පියමං කිරීමට ආනන්දීයයන් විසින් ගෙන ඇති මග පැසසුම් කළ යුතුයි. ඒ නිසා, ශ‍්‍රී ලාංකික ශිෂ්‍ය ප‍්‍රජාව අතරින් විශ්ව පුරවැසියන් බිහිකිරීමට ආනන්ද විද්‍යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සමාජය විසින් තබා ඇති පියවර සර්වප‍්‍රකාරයෙන්ම සාර්ථක වේවායි පතන බව" අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya