ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගෙන් පසු නිවාස වැඩපිළිවෙළ අසාර්ථක වුණා

    ජූනි 25, 2015
    දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ආරම්භ කළ  නිවාස වැඩපිළිවෙළ 1994න් පසු හරියාකාරව ක්‍රියාත්මක කිරීමට ඉන් අනතුරුව පැමිණි  රජයන්  අපොහොසත් වූ බවත් ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ යුගයේ නිවාස වැඩපිළිවෙළ කොළඹට පමණක් සීමා නොකොට ඉන් බැහැරව ක්‍රියාත්මක කළ නිසා ගැමි ජනතාවටද නිවසක හිමිකම ලැබුණු බවත්, එම වැඩපිළිවෙළ හරියාකාරව ක්‍රියාත්මක වුයේ නම් ලක්වාසී සියලු දෙනාට නිවසක් තුළ ජීවත්වීමේ භාග්‍ය ලැබෙන්නට තිබූ බවත් මහවැලි සංවර්ධන සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා එසේ පැවසුවේ, ජූනි 23 වන දිනට යෙදුන ජාතික නිවාස දින නිමිති කොටගෙන පසුගියදා මාතලේ පළාපත්වල ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේ පැවති  මාතලේ දිස්ත්‍රික් සැමරුම් උළෙලට සහභාගී වෙමිනි. 
     
    මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ලබා දුන් පොරොන්දු එතුමා ජනාධිපති බවට පත් වී දින සියයක් ඇතුළත සියයට අසූවක් පමණ ඉෂ්ට වී තිබෙන බවත් සෑම ආසනයකටම නිවාස 300ක් ලබාදීමට එතුමා පොරොන්දු වී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. 
     
    මෙහිදී නිවාස සංවර්ධන අධිකාරියේ මාතලේ දිස්ත්‍රික් කාර්යාලය මඟින් නිවාස හා ඉඩම් සඳහා තෝරාගත් ප්‍රතිලාභීන් දස දෙනෙකු වෙනුවෙන් හිමිකම් ඔප්පු ප්‍රදානය කෙරුණු අතර නිවාස ණයලාභීන් සිය දෙනෙකු සඳහා චෙක්පත් ප්‍රදානය කෙරිණි. වැන්දඹු පවුල් නගාසිටුවීමේ අරමුණින් ස්වයංරැකියා සඳහා වැන්දඹු කාන්තාවන් විසි දෙනෙකුට රුපියල් 30,000 බැගින් මුදල් දුන්හ. එමෙන්ම දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක දිරිය පියස නිවාස සංවර්ධන වැඩසටහන සඳහා මාතලේ දිස්ත්‍රික්කයෙන් තෝරා ගත් ප්‍රතිලාභීන් වෙනුවෙන් හත් දෙනෙකුට සංකේතාත්මකව මෙහිදී රුපියල් 75,000 බැගින් මූල්‍යමය ප්‍රතිපාදනයන්ද ප්‍රදානය කෙරිණි.
     
    මාතලේ දිස්ත්‍රික් ලේකම් නීල් ද අල්විස් මහතා ද මෙම අවස්ථාවට සහභාගි වෙමින් පැවසූවේ නිවසක් යනු ජනතාවගේ අත්‍යාවශ්‍ය මූලික අයිතිවාසිකමක් වන බැවින් රජය ක්‍රියාත්මක කරන නිවාස වැඩපිළිවෙළ මඟින් ජනතාවගේ නිවාස ප්‍රශ්නයට විසඳුම් ලබා දීමට සෑම පියවරන්ම ගන්නා බවයි. නිවාස ඉදිකර ගැනීම සඳහා ලබා දුන් මුදල වෙනත් කටයුතුවලට නොයොදවා නිවසේ කටයුතු අවසන් කර ගැනිමට ප්‍රමුඛතාව දෙමින් යොදා ගන්නා ලෙසත් එසේම  නියමිත කාලය තුළ නිවසේ වැඩ කටයුතු අවසන් කළ යුතු බවත් ඒ මහතා පැවසීය. 
     
    ජාතික නිවාස දිනය නිමිත්තෙන් මාතලේ දිස්ත්‍රික් නිවාස සංවර්ධන අධිකාරිය මඟින් කොඩි අලෙවි කිරීමක්ද මෙහිදී සිදු කෙරිණ. මෙම අවස්ථාවට මධ්‍යම පළාත්  විපක්ෂනායක රංජිත් අළුවිහාරේ, මාතලේ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම්වරු, නිවාස සංවර්ධන අධිකාරියේ මාතලේ දිස්ත්‍රික් කළමනාකාර එන්.එම්.ජී. නවරත්න මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගි වූහ.
     
    NDH/dmu_ Matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya