ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    හෙළසුවය සංවිධානය මගින් ඖෂධීය ගුණයෙන් සපිරි කැඳ වීදුරුවක්

    අගෝස්තු 12, 2015
    හෙළ සුවය සංවිධානය මගින් ඊයේ (11) ආරක්‍ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ දී ඖෂධීය ගුණයෙන් යුත් නව කැඳ වීදුරුවක් හදුන්වා දුන්නේය. ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් බී. එම්. යූ. ඩී. බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පවත්වනු ලැබීය.
    අඩසිය වසරකට ආසන්න කාලයක් තිස්සේ කෘෂි රසායන භාවිතා කරමින් නිෂ්පාදනය කරන ලද අධික වස විෂ සහිත ආහාර වර්ඝ අනුභව කළ ශ්‍රී ලාංකික අප බොහෝ දෙනෙකු මේ වන විට දියවැඩියාව, අධික රුධිර පීඩනය, අංශභාගය, වකුගඩු රෝග, පිළිකා, කොලෙස්ටරෝල්, ඇදුම හා ගැස්ට්‍රයිටීස් ආදී බෝනොවන රෝගවලින් පෙළෙමින් සිටින අතර මේ සඳහා හේතුවන්නේ කෘෂි රසායනවල ඇති උග්‍ර විෂ වන බැර ලෝහ (ආසනික් ඇතුළු) මෙන්ම කෘෂි රසායනවල ඇති අවශිෂ්ඨ ශරීරගතවීම බවට ප්‍රභල විද්‍යාත්මක සාක්ෂි ඇත. එසේම පදවි ශ්‍රී පුර ප්‍රදේශයේ වකුගඩු රෝගීන් සම්බන්ධ කරගෙන කරන ලද පරීක්ෂණවලදී ඔවුන්ගේ අවයවවල ආසනික් අඩංගු බව තහවුරු වූ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිදු කරන ලද පර්යේෂණවලදී ද වකුගඩු රෝගීන්ගේ මුත්‍රාවල පළිබෝධ නාශකවල අවශිෂ්ඨ කොටස් ඇති බව තහවුරු වී ඇත.
    කෘෂි රසායන භාවිතා නොකර ඖෂධීය පැළෑටි වර්ග හා ඇට වර්ග කොටා සාදාගත් මිශ්‍රණ යොදා වගාකර සාදාගත් පාරම්පරික සහල් වර්ග වන කළුහීනටි, කහවනු, මඩතවාළු හා පච්චපෙරුමාල් මෙම කැඳ වට්ටෝරුවේ අන්තර්ගත වන අතර මෙමගින් මව්කිරිවල පෝෂණ ගුණය වැඩිකරන බවත් මනුෂ්‍ය ශරීරයට තවත් බොහෝ ප්‍රතිලාභ අත්වන බවත් පර්යේෂණ මගින් සොයාගෙන ඇත. මව්වරුන්ගේ මව්කිරි ජනනය කිරීම වැඩි කරවන අතර මෙමගින් ස්වාභාවික ප්‍රතිශක්තිය වර්ධනය කර ශරීරයේ විෂ ඉවත් කරයි. එසේම බෝ නොවන රෝගයන් වන දියවැඩියාව, අධික රුධිර පීඩනය ඇතුළු රෝග විශාල ප්‍රමාණයක් නිවාරණය කිරීමට හැකි ඖෂධීය ගුණයකින් සමන්විත දේශීය අමුද්‍රව්‍ය විශාල ප්‍රමාණයකින් සමන්විත තුනපහ පැකට්ටුවක් ද මෙහි අන්තර්ගතය.
    මේ වන විට මෙම ඖෂධීය ගුණයෙන් යුත් කැඳ වර්ග ලබාදීම කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුන් සඳහා ආරම්භ කර ඇති අතර ආරක්‍ෂක ලේකම්තුමාගේ උපදෙස් මත මෙම කැඳ වර්ග ත්‍රිවිධ හමුදා සාමාජිකයක් සඳහා හදුන්වා දීමට අදහස් කෙරේ. අද පැවති මෙම හදුන්වාදීමේ වැඩසටහනේදී රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා, අධිකරණ වෛද්‍ය වි‍ශේෂඥ කේ.එස්. දහනායක මහතා හා ප්‍රියන්තා සේනානායක මහත්මිය විසින් මෙහි අඩංගු ඖෂධීය ගුණයන් සම්බන්ධයෙන් විශේෂ දේශණ පවත්වන ලදී.
    ආරක්‍ෂක අමාත්‍යංශයේ පැවති මෙම කැඳ වර්ග හදුන්වාදීමේ වැඩසටහන සඳහා ආරක්‍ෂක ලේකම් බී. එම්. යූ. ඩී. බස්නායක මහතා, අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක, ත්‍රිවිධ හමුදාපතිවරුන්, ත්‍රිවිධ හමුදා වෛද්‍ය නිලධාරීන් හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සිව්ල් ආරක්‍ෂක බලකා සාමාජිකයන්, ආරක්‍ෂක සේවා විද්‍යාලයේ හා කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya