ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    රටක ජනමතය වෙනස් කිරීමේදී මූලිකත්වය ගන්නා ප්‍රධානතම බලවේගය ජනමාධ්‍යවේදියායි

    සැප්තැම්බර් 07, 2015
     - මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා
     

    රටක ජනමතය සහ මතවාද වෙනස් කිරිමට ජනමාධ්‍යට  හැකි බවත් ඒ සඳහා මූලිකත්වය ගන්නා ප්‍රධාන පුද්ගයා ජනමාධ්‍යවේදියා බවත්  එය දේශපාලනය ඇතුළු සෑම කේෂ්ත්‍රයක්  දක්වාම පැතිර යන බවත්  මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පැවසීය.

    ප්‍රධාන අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ පසුගිය දා (05) මාතලේ තොටගමුවේ ස්ප්‍රීන් විව් හෝටලයේ පැවති ප්‍රාදේශීය මාධ්‍යවේදීන්, ලේඛකයින්, පාසල්වල මාධ්‍ය විෂය උගන්වන ගුරුවරුන් සඳහා පැවැති අපරාධ සහ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා කිරීමේදී ජනමාධ්‍යයේ කාර්යභාරය තේමාව යටතේ පැවති සන්නිවේදන වැඩමුළුවක් අමතමිනි.

     

    ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සංවිධානයෙන් සහ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය මාධ්‍ය ඒකකය මගින් මෙම වැඩමුළුව සම්බන්ධීකරණය කොට තිබුණි. වැඩමුළුව අමතා වැඩිදුරටත් ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ  වර්තමානයේ අන්තර්ජාලය තුළින් මොනතරම් දැනුම ලබන්නට අවස්ථා තිබුණත් පොත්පත් කියවීම තුළින් පුද්ගලයා ලබන දැනුම ඔහුගේ නිර්මාණාත්මක කුසලතා වර්ධනය වීමට හේතු පාදක වන බවයි.


    මාතලේ දිස්ත්‍රික් ලේකම් නීල් ද අල්විස් මහතා පැවසූවේ  සමාජයේ සෑම කෙනෙක් ම ඇසුරු කරන ජන මාධ්‍ය කේෂ්ත්‍රයේ නියැලී සිටින ජනමාධ්‍යවේදීන්ගේ දැනුම යාවත්කාලීන කිරීම සඳහා මෙවැනි වැඩමුළු පැවැත්වීම ඉතා වැදගත් බවයි.

     

    විශේෂයෙන්ම අපරාධ වාර්තාකරණයේ හොඳ පැත්තක් මෙන්ම සහ නරක පැත්තක්ද දක්නට ලැබෙන බවත් ඒ  පිළිබද ජනමාධ්‍යවේදියාගේ අවධානය යොමු විය යුතු බවද අපරාධ පිළිබඳ වාර්තා කරන විට සමාජය අපරාධ වලින් වැළකෙන ආකාරයෙන්  අවවාදාත්මක සහ උපදේශාත්මක තොරතුරු ද එකතු කරන්නේ නම් සමබර ප්‍රවෘත්ති වාර්තාකරණයක් සිදු කළ හැකි බවද දිසාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

     

    මෙම වැඩමුලුවේදී කැළණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මාධ්‍යවේදීන්ගේ ආචාර ධර්ම පිළිබඳ විශේෂ දේශනයක්ද, අපරාධ සහ ප්‍රවෘත්ති වාර්තාකරණයේ නීතිමය පසුබිම පිළිබඳ දේශනයක් මාතලේ පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නවරත්න බණ්ඩා මහතා විසින් පවත්වන ලද අතර ප්‍රවීණ මාධ්‍යවේදී ආරියරත්න දොඹගහවත්ත මහතා විසින් අපරාධ වාර්තාකරණයේදී මාධ්‍යවේදීන්ගේ කාර්ය භාරය පිළිබඳ දේශනයක් ද පවත්වන ලදි.

     

    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය,පුවත්පත් මණ්ඩලයේ සභාපති නීතීඥ කොග්ගල වෙල්ලාල බන්දුල, පුවත්පත් මණ්ඩලයේ වැඩ බලන කොමසාරිස් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ.ඩබ්.ඩී.ටී.එන්. අමරතුංග, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය දර්ශණී ගුණතිලක, ප්‍රවීණ මාධ්‍යවේදී පුවත්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික තිලේනාදන්, සහකාර පුවත්පත් කොමසාරිස් නිරෝෂන් තඹවිට, පුවත්පත් මණ්ඩලයේ ගණකාධිකාරි ජගත්සිරි මහත්වරුන් ඇතුළු පුවත්පත් මණ්ඩලයේ නිලධාරීන් රැසක් ද, දිස්ත්‍රික් ප්‍රවෘත්ති නිලධාරී ගාමිණි නිශාන්ත කරැණාරත්න මහතා ඇතුළු මාධ්‍ය ඒකකයේ නිලධාරීන්ද  මෙම අවස්ථාවට සහභාගි වූහ.

     

    GNK_dmu_Matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya