ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    2016දී පුත්තලමට සාගර විශ්ව විද්‍යාලයක්

    නොවැම්බර් 03, 2015
    2016 වසරේ දී පුත්තලමට සාගර විශ්වවිද්‍යාල ශාඛාවක් ලබාදීමට කටයුතු කරන බව පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය, පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා එසේ පැවසූයේ පසුගියදා ආනමඩුවේදී පැවැති "දිරි දරු ශිෂ්‍යත්ව ප‍්‍රතිභා ප‍්‍රණාම" උළෙලට එක්වෙමිනි.
     
    පුත්තලම අධ්‍යාපන කලාපයේ 2015 වසරේ 05 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් සිසු දරු දැරියන් 456 දෙනෙකුට උපහාර පිදීම සඳහා දිරිදරු ශිෂ්‍යත්ව ප‍්‍රතිභා ප‍්‍රණාම උළෙල සංවිධානය කර තිබුණි. 
     
    පුත්තලම් දිස්ත‍්‍රික්කයේ සාමාන්‍ය පෙළ විභාගය සමත් වන සිසු දරුවන් හට තම තමන්ගේ කුසලතාවයන් අනුව වෘත්තීය පුහුණුවක් ලබා ජීවිතය සාර්ථක කරගැනීම සඳහා ලබන වසරේ වෘත්තීය පුහුණු අධිකාරිය හරහා අංග සම්පූර්ණ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් කොට්ටුකච්චියේ අක්කර 15 ක භූමියක ඉදිකරන බවද රංගේ බණ්ඩාර මහතා මෙහිදී සඳහන් කළේය.
     
    "පුත්තලම දිස්ත‍්‍රික්කයේ දරුවන්ට සාගර විශ්වවිද්‍යාලයත්, වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයත් ලැබුණාම ඒ අයට ඉහලම වැටුප් ලබන රැකියාවලට යන්න හැකියාව ලැබෙනවා. විශ්වවිද්‍යාලයට යන්න උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට ගිහිං වසර 04 කින් 05 කින් උපාධිය ලබාගෙන පිටවෙන කොට රැකියා හිඟවෙනවා. රැකියා හිඟ වෙනකොට බෝඩ් උස්සාගෙන මහපාරට ඇවිත් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට හෝ අගමැති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කරනවා. ඒත් NIBM, සාගර විශ්වවිද්‍යාලය, වෘත්තීය පුහුණු අධිකාරිය,  NAITA ආයතනය, NSBMවැනි ආයතනවලින් වෘත්තීය පුහුණුව ලබා ඉගෙන ගෙන එළියට එන අයව ඉහළ වැටුපකට බඳවා ගන්න සමාගම් පස්සෙන් එනවා. ඒ නිසා ලබන වසරේ සිට ඔබට එහි ප‍්‍රගතිය දැකගත හැකි" යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    ප‍්‍රදේශයේ අධ්‍යාපන බලධාරීන්, උසස් පොලිස් නිලධාරීන් සිසු දරුවන්ගේ ගුරුවර ගුරුවරියන් මව්පියන් ඇතුළු බොහෝ පිරිසක් උත්සවය සඳහා සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya