ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    මහානගර සංවර්ධන අධිකාරිය නමින් නව පනතක් ලබන ජනවාරියේ දී

    දෙසැම්බර් 02, 2015

    බස්නාහිර පළාත ඇතුළු දිවයිනේ සමස්ථ මහානගර සංවර්ධනය සඳහා මහානගර සංවර්ධන අධිකාරිය  නමින් නව පනතක් ලබන ජනවාරියේදී ගෙන එන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ, මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය මගින් ඉදිරියේදී ක‍්‍රියාත්මක කරන මහානගර සහ බස්නාහිර පළාත් සුවිසල් නගර සංවර්ධන සැලසුම් සහ ව්‍යාපෘතීන් පිළිබඳ ජනතා අදහස් සහ යෝජනා ලබාගැනීම සඳහා ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ දී සඳුදා (30) පස්වරුවේ සංවිධානය කර තිබූ සම්මන්ත‍්‍රණයකට සහභාගී වෙමිනි.

     

    සමස්ථ නගර සංවර්ධනය සඳහා නව පනතක් ගෙන ඒමට බලාපොරොත්තුවන අතර බස්නාහිර පළාත සංවර්ධනය කිරීම සඳහා බස්නාහිර මහනගර අධිකාරිය නමින් නව අධිකාරියක් පිහිටුවීමට කටයුතු සිදු කරන බවත් එහි වැඩකටයුතු කරගෙන යාම සඳහා අවශ්‍ය නාගරික සංවර්ධන අධිකාරිය සතු බලතල මෙන්ම  එයට අමතරව මෙම සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය බලතල ද එම අධිකාරිය වෙත ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. මෙහි මහා පරිමාණ නාගරික සංවර්ධන සැලසුම් හා සුවිසල් සංවර්ධන කටයුතු අදියර 03ක් යටතේ 2030 දක්වා කාලය තෙක් දිවයන බවත්, අමාත්‍යවරයා පැවසීය.

     

    පළාතක් ලෙස ගත් කළ පැල්පත්වාසීන් ලක්ෂයකට වඩා වැඩි පිරිසක් මෙම බස්නාහිර පළාත තුළ ජීවත් වන බවත්, මෙම සුවිසල් නගර සැලැස්ම යටතේ එම ගැටළුවට පිළියම් ලබාදීමට සැලසුම් කර තිබෙන අතර අදාළ සියළු සැලසුම් සිදු කරනු ලබන්නේ ජනතා අදහස් ලබාගනිමින්, දේශීය විද්වතුන්ගේ උපදෙස් මත බවත් එලෙස සකස්කරන සැලැස්ම පවා වසර පහෙන් පහට රටේ පවතින අවශ්‍යතාවය අනුව වෙනස් කිරීමට බලාපොරොත්තු වන බවත් සඳහන් කළේය.
     


    සීඝ්‍ර නාගරීකරණයත් සමඟ වාහන තදබදය, කැලිකසල ප‍්‍රශ්නය සමාජීයීය ගැටළුවක සිට ආර්ථික ප‍්‍රශ්නයක් දක්වා වර්ධනය වී තිබෙන අතර මෙයට දශක තුනකට පෙර කොළඹ නගරය වෙත දිනකට  වාහන ඇතුළු වූයේ 132,000 ක් පමණ වුවද මේ වන විට එය ලක්ෂ 05 දක්වා වර්ධනය වී ඇති බවත් එයින් 15% ක් මගී ප‍්‍රවාහන පොදු සේවාව වන අතර ඉතිරි 85% යතුරු පැදි, තී‍්‍රරෝද රථ, මෝටර් රථ හා වෑන් රථ වන බවය. මෙම නගර නිර්මාණයේ දී ලබන වසර තුළ නව ජාතික හැඳුනුම්පතක් හඳුන්වා දෙන බවත්, එය ණය කාඩ් පතක්, විදේශ ගමන් බලපත‍්‍රයක් හා බස් රථයක ගමන් කිරීමේදී එමගින් ගෙවීම් කිරීමේ හැකියාව ද සහිත තාක්ෂණිකාංගයක් ලෙස මෙය භාවිත කිරීමේ හැකියාවද පවතින බවය.

     

    තවද කොළඹ නගරය ඇතුළු තදාසන්න නගර ආශි‍්‍රතව පවතින අධික වාහන තදබදය නිසාවෙන් පසුගිය වසර තුළදී පමණක් රටට රුපියල් බිලියන 397ක් අහිමිව ඇති බවත් මෙම තදබදය නිසාවෙන් නගරයක් තුළ වාහනයක සාමාන්‍ය ධාවන කාලය පැයට කි.මි. 20 සිට 12 දක්වා අඩු වී තිබෙන අතර ඒ සඳහා ද විධිමත් සැලසුම්  සකස් කිරීමට මෙම වැඩසටහන් මගින් බලාපොරොත්තුවන බවත් අමාත්‍යවරයා පැවසීය.

     

    ඉදිරියේ දී ක‍්‍රියාත්මක කරන සියළු නාගරික සංවර්ධන ක‍්‍රියාවලිය ජාතික ප‍්‍රමුඛතා හඳුනාගෙන ඒ අනුව  ක‍්‍රියාත්මක කරන බව පැවසු අමාත්‍යවරයා ඉදිරියේදී නාගරික සංවර්ධන සැලසුම් සකස් කිරිමේ දී සහ ක‍්‍රියාත්මක කිරිමේදී ප‍්‍රමුඛතාවය ලබා දිය යුතු කරුණු 03ක් පිළිබඳව ද මෙහිදී පැහැදිලි කළේය.එනම්,

     

    01. මාර්ග තදබදය සඳහා විසදුම් ලබාදීම

    02. කසල ප‍්‍රශ්නයට කඩිනම් විසදුමක්

    03. දුගී ජනතාවගේ ගැටළු හඳුනාගෙන ඒවා සඳහා කඩිනම් විසදුම් ලබාදිය හැකි අයුරින් නාගරික සංවර්ධන කටයුතු සැලැසුම් කිරීම සහ ක‍්‍රියාත්මක කිරීම යි.

     

    මෙම අවස්ථාවට මහානගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ, බස්නාහිර පළාත් සුවිසල් නගර සැලසුම් ව්‍යාපෘතියේ සභාපති අජිත් ද කොස්තා යන මහත්වරුන් සහ නගර නිර්මාණ ත්ෂේත‍්‍රයේ විද්වතුන් ඇතුළු බස්නාහිර පළාත් ස්වේච්ඡා සංවිධාන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya