ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මහනුවර නව රථවාහන සැලැස්මට සහාය දක්වන්න

    මාර්තු 15, 2016
    මහනුවර විලියම් ගොපල්ලව මාවත සහ පරණ පේරාදෙණිය පාර සම්බන්ධ කරමින් පවතින හරස් මාර්ග වාහන ගමන් කළ හැකි පරිදි වැඩි දියුණු කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සහභාපති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් උපදෙස් ලබා දෙන ලදී.
    විලියම් ගොපල්ලව මාවත සහ පරණ පේරාදෙණිය පාර සම්බන්ධ කරන හරස් මාර්ග පැවතියත් ඒවා වාහන ගමන්  කිරීමට තරම් සුදුසු තත්වයෙන් නොමැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා එම හරස් මාර්ග පුළුල් කොට සංවර්ධනය කරන්නේ නම් මහනුවරට හදුන්වා දී ඇති නව රථ වාහන සැලැස්ම තවත් සාර්ථක කරගත හැකි බව ද පෙන්වා දෙන ලදි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පසුගියදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේදී මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක නව රථ වාහන සැළැස්ම පිළිබද සිදු කෙරුනු සාකච්ඡාවේදීය.
     
    පසුගිය සතියේ සිට මහනුවර නගරයේ රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් නගර සභාව, පොලීසිය සහ මාර්ග සංවර්ධන අධිකාරිය යන ආයතන එක්ව නව රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන ලදී. අදියර දෙකකින් ක්‍රියාත්මක කළ එම සැළැස්ම අනුව එහි පළමු අදියරේදී මහනුවර නගරය ඇතුලත මාර්ග කිහිපයක් එක් පැත්තකට පමණක් වාහන ගමනාගමනය කළ හැකි පරිදි විවෘත කරන ලදී. 
     
    දෙවැනි අදියර වූයේ පේරාදෙණියේ සිට මහනුවර බලා පැමිණෙන ප්‍රධාන මාර්ග දෙක වන විලියම් ගොපල්ලව මාවත සහ  පැරණි පේරාදෙණිය මාර්ගවල එක් පැත්තකට පමණක් වාහන ධාවනය කිරීමයි. ඒ අනුව දිනපතා ප.ව.3.30 සිට 7.30 දක්වා කාලය තුළ විලියම් ගොපල්ලව මාවත මහනුවර සිට පේරාදෙණියට යෑමටත් පරණ පේරාදෙණිය මාවත පේරාදෙණියේ සිට මහනුවරට පැමිණීමටත් හැකි පරිදි වාහන ධාවනය කරවනු ලැබීය. ඒ තුළින් වාහන තදබදය සැලකිය යුතු මට්ටමකින් අවම කර ගැනීමට හැකියාව ලැබී තිබේ.
     
    මහනුවර ජේෂ්ඨ පොලිස් අධිකාරී ගාමිණී ඇල්ලේපොල මහතා පැවසුවේ මෙම අත්හදා බැලීමේ සැලැස්ම සාර්ථක වූ බැවින් එම සැලැස්ම ක්‍රියාත්මක වන පැය තුනක කාලය තවදුරටත් දීර්ග කිරීමට කටයුතු යෙදවීමට ඇති හැකියාව සොයා බලන බවයි.එක් පසෙකට පමණක් ගමන් කරන මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක වුවත් එම මාර්ග වල වාහන නතර කර තැබීමේ පහසුකම් අත්හිටුවා නැති බැවින් වාහනවල ගමන් ගන්නා අයටද කිසිදු අපහසුවක් ඇති නොවන බවද ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා පැවසීය. ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා පෙන්වා දුන් පරිදි විලියම් ගොපල්ලව මාවත සහ පරණ පේරාදෙණිය පාර හරහා දිවෙන හරස් මාර්ග වාහන ගමන් කළ හැකි පරිදි සංවර්ධනය  කොට අතරමැදින් එම මාර්ග සම්බන්ධ වන අතුරු මාර්ග ඉදි කළහොත් මෙම මාර්ග සැලැසුම ඉතා සාර්ථක කර ගත හැකි බව පෙන්වා දෙන ලදී.
     
    දැනට පවතින එම අතුරු මාර්ග හරහා දුම්රිය මාර්ගය ගමන් කරන බැවින් දුම්රිය දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කොට දුම්රිය මාර්ගයට අවහිර නොවන ලෙස මෙම හරස් මාර්ග ඉදි කිරීමට කටයුතු යෙදීම පිළිබද ඉතා ඉක්මනින් කටයුතු යොදන බව මාර්ග සංවර්ධන අධිකාරිය නියෝජනය කරමින් කමිටුවට සම්බන්ධ වූ නිලධාරින් මෙහිදී පැවසීය.
     
    AP/DMU-Kandy
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya