ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව රැස්වේ

    මැයි 11, 2016
    මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම මාතර දිස්ත්‍රික් ලේකම් ඊ. ඒ. සී. විදානගමාච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ  මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගරයේ දී පැවැත්විණි.
    ඈත අතීතයේ සිට ම කෘෂිකාර්මික දිවිපෙවෙතකට හුරු වී සිටින ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සෑම රජයක් විසින් ම හැකි සෑම ආකාරයක ම පහසුකම් සැපයීමට ඉදිරිපත් විය. වර්තමාන රජය ද පොහොර සහනාධාර, ගෙවතු දස ලක්ෂයේ වැඩසටහන, ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන, පලාත් නිශ්‍රිත වැඩසටහන්, පුරන් කුඹුරු අස්වැද්දීමේ ව්‍යාපෘති, විශේෂිත වී වගා ව්‍යාපෘති, පළතුරු වගා ව්‍යාපෘති, එළවලු භෝග ව්‍යාපෘති ආදී වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවමින් පවතී. ඒ සඳහා කෘෂිකර්මාන්තයට සම්බන්ධ විවිධ ආයතන හරහා අවශ්‍ය පහසුකම් සැපයීම සිදු කරයි. දිස්ත්‍රික් මට්ටමේ දී ඒ සෑම ආයතනයක් ම එක් තැනකට රැස් වී ගැටළු සාකච්ඡා කරනුයේ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී ය.
     
    එහි දී විශේෂයෙන් සාකච්ඡාවට බඳුන් වූයේ මෙම කන්නයේ වී වගාව ආශ්‍රිතව පැනනැගී ඇති ගැටළු පිළිබඳවයි. අප්‍රේල් 30 වනදා වන විට වපුරා අවසන් කළ යුතු මාතර දිස්ත්‍රික්කයේ වී වගා ඉලක්කය හෙක්ටයාර 4,780 ක් වුවත් වපුරා අවසන් කළ හැකි වූයේ හෙක්ටයාර 823.2 ක් පමණයි. එයට හේතු වූයේ වර්ෂාව නොමැති කමින් පැවති වියළි කාලගුණ තත්ත්වය නිසා කුඹුරු වලට අවශ්‍ය ජලය නොමැති වීමයි. 
     
    කෙසේ වෙතත් අදාළ වගා කන්නය පසු වී ඇති නිසා අස්වැන්න නෙළා ගන්නා කාලය අනුව මාස තුන හෝ මාස තුන හමාර වී වෙනුවට ගොවීන්ගේ අභිමතය පරිදි වැඩි දියුණු කළ මාස දෙක හමාර වී, වැඩි දියුණු කළ බී.ජී.38 පස් මස් මා වී හෝ ගංවතුර තත්ත්වයන්ට පවා ඔරොත්තු දෙන වැඩි දියුණු නොකළ මාස හයේ සාම්ප්‍රදායික මා වී වගාවන්ට වී ගොවීන් යොමු විය යුතු බව තීරණය කෙරිණි. එසේ නොමැති නම් වී වගාව වෙනුවට කෙටි කාලීන එළවලු වගාවන්ට යොමුවිය හැකි අයට ඒ සඳහා ද අවස්ථාව දිය යුතු බවත් වගාවකට යොමු විය නොහැකි ගොවීන්ට මෙවර වගා කන්නය අතහැර දැමීමට වුව ද ඉඩ දියයුතු බවත් තීරණය කරන ලදි.
     
    පසුගිය කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී ගන්නා ලද තීන්දු තීරණ ක්‍රියාත්මක වීම පිළිබඳ ප්‍රගතිය, කෘෂිකර්මාන්තයට සම්බන්ධ ආයතනවල මාසික ප්‍රගතිය, ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුවලින් පැන නගින ගැටළු පිළිබඳව, දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව වෙත එවන ලද ලිපි පිළිබඳව, පසුගිය කන්නයේ හා ඉදිරි කන්නයේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ ගැටළු ආදිය ද මෙහි දී සාකච්ඡා කෙරිණි.
     
    මේ අවස්ථාව සඳහා මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් බන්ධුල රණවීර මහතා සහ දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රා‍දේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් ප්‍රාදේශීය ලේකම් වරුන් ඇතුළු කෘෂිකර්මාන්තයට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් පුද්ගලික අංශය සහ ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
     
    මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය රැස්වීම සංවිධානය කරන ලදි.
     
    AP/DMU-Matara
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya