ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    විපතට පත්වූවන්ට සෞඛ්‍ය පහසුකම් සැලසීම සඳහා ජංගම කණ්ඩායම්

    මැයි 19, 2016


    දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය පහව යනතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ ඒකකය පැය 24 පුරා ක්‍රියාත්මක බවත් සෞඛ්‍ය පහසුකම් සැලසීම සඳහා ජංගම කණ්ඩායම් ක්‍රියාත්මක බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.


    ජනාධිපතිතුමාගේ, අගමැතිතුමාගේ හා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් තම ප්‍රදේශයේ ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඊට මුහුණදීම සඳහා නිරතුරුව ම සූදානමින් සිටින ලෙස රෝහල් අධ්‍යක්ෂ හා රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

    ඒ මහතා මේ බව සඳහන් කළේ අද (19) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා "වෛද්‍ය කණ්ඩායම්, ගිලන් රථ සේවාව සැපයීම සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙමින් තවත් චක්‍රලේඛයක් නිකුත් කර තියෙනවා. ගංවතුර හේතුවෙන් ජලය ආශ්‍රිත රෝග පැතිර යා හැකියි. ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ දැනුවත් කිරීමට උපදෙස් ලබා දී තියෙනවා.

    දිස්ත්‍රික් 15ක් මේ වන විට ආපදාවට ලක්ව ඇති නිසා දිස්ත්‍රික් මට්ටමින් සම්බන්ධීකාරකවරුන් පත් කර සිටිනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීවරයෙකු ද ඒ අතර වෙනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 62ක් විපතට පත්ව ඇති අතර අවතැන් කඳවුරු 238ක් වාර්තා වෙනවා. එම කඳවුරු භාරව මහජන සෞඛ්‍ය පරීක්ෂක හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරියෙකු පත් කරන්න උපදෙස් දුන්නා. මෙහිදී සනීපාරක්ෂක කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු වෙනවා. ඔවුන් පානීය ජලය හා සෞඛ්‍යාරක්ෂිත ආහාර පිළිබඳ වැඩි අධීක්ෂණයක් සිදු කරනවා.

    සාමාන්‍ය පරිදි ප්‍රවාහන පහසුකම් සපයා ගත නොහැකි කොලොන්නාව, කඩුවෙල වැනි ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් බෝට්ටු මගින් වෛද්‍ය කණ්ඩායම් යොමු කළා. සෞඛ්‍ය කණ්ඩායම් අවශ්‍ය නම් ඒ ඒ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට දැනුම් දිය යුතු අතර එසේ කළ නොහැකි නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ 0112-694860 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya