ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මහනුවර නිවාස ඉදි කිරීම සදහා විශේෂ කැබිනට් පත්‍රිකාවක්

    ඔක්තෝබර් 05, 2016
    මෙම වසරේ මැයි මාසයේ ඇති වූ අයහපත් කාලගුණික තත්ව‍ය හේතුවෙන් ආපදාවට ලක්වී නිවාස අහිමිවූ ජනයාට සහන සැලසීමට අවශ්‍ය මුදල් ලබා ගැනීම සදහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාව අනුමැතිය සදහා යොමු කරන බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි. 
    නිවාස යළි ඉදි කිරීමේදී ජාතික රක්ෂණ භාර අරමුදල, වතු භාරය සහ රජය ඒකාබද්ධ වී මෙම නිවාස ඉදි කිරීමට කටයුතු යොදන බව පැවසූ අමාත්‍යවරයා එම නිවාස සෑදීමේදී ආපදාවන්ට ඔ‍රොත්තු දෙන (resilient houses) ආකාරයේ නිවාස සාදාදීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවද පෙන්වා දෙන ලදී. 
     
    මහනුවර දිස්ත්‍රික්කයේ නායයෑම් වලදී වතු ආශ්‍රිත ප්‍රදේශවල සිදුවන ‍නායයෑම් බොහොමයකටම හේතුව වී ඇත්තේ අධික බෑවුම් සහිත ප්‍රදේශවල නිවාස ඉදි කිරීම බව පෙන්වා දුන් අමාත්‍යවරයා මින් ඉදිරියට වතුකරයේ නිවාස ඉදි කිරීමේදී නාය යෑමට ලක් නොවන භූමි හදුනා ගෙන මහල් නිවාස ඉදි කොට එම ජනයාට ඒවා ලබාදීම කෙරෙහි සැලසුම් සකස් කරන බවද පෙන්වා දෙන ලදී. මේ සම්බන්ධයෙන් වතු පාලන අධිකාරිවරුන් සමග පවත්වා ඇති සාකච්ඡා සාර්ථක වී ඇති බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දෙන ලදී.
     
    මෙම වසරේ මැයි මාසයේ ඇතිවූ අයහපත් කාලගුණික තත්වයන් නිසා මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස 1,405 ක් බලපෑමට ලක් වී ඇති අතර, එයින් 976 ක් ග්‍රාමීය නිවාස වන අතර ඉතිරි 429 වතු නිවාසයි.  එසේ හානි වූ නිවාස අතරින් නිවාස 372 ක් සුදුසු ආරක්ෂණ ක්‍රම අනුමගමනය කොට එම ඉඩම් වලම නැවත සෑදිය හැකි බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිර්දේශ ලබා දී තිබේ. හානියට පත් වූ නිවාස 40 කට එම ඉඩම් වල නැවත පදිංචිය නුසුදුසු බව ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුම් දී ඇති අතර, ඔවුන් විකල්ප ස්ථානවල පදිංචි කිරීම නිර්දේශ කර ඇත. එමෙන්ම නිවාස වලට හානි නොවූවත් එම ස්ථානවල පදිංචියට නුසුදුසු නිවාස 993 ක් ද ඇති බව පෙන්වා දෙන ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඔවුන් සියළු දෙනාම විකල්ප ස්ථාන කරා යොමු කරවිය යුතුබව පෙන්වා දෙයි.
     
    මෙම පිරිසට නිවාස ඉදි කිරීම සදහා මහනුවර ගෝනාධිකවත්ත, නායපාන වත්ත, අම්බලම්මානවත්ත,  සහ සොගමාවත්ත යනාදී ස්ථාන තෝරා ගෙන ඇති අතර, ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීම කෙරෙහිද මේ වන විට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් කටයුතු යොදා තිබේ. මෙම නිවාස ඉදි කිරීම සදහා දැනට ඇස්තමේන්තු කෙට ඇති මුදල මිලියන 49.43 කි.
     
    මෙම කරුණු අනාවරණය වූයේ  ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ පැවති ආපදා සහන සැලසීම සම්බන්ධ විශේෂ රැස්වීමකදීය. මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ සමාජ සවිබල ගැන්වීම හා සුභ සාධන අමාත්‍ය එස්.බී දිසානායක සහ මහනුවර දිස්ත්‍රික‍් ලේකම් එච්.එම්.පී හිටිසේකර ඇතුළු මහනුවර දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශීය ලේකම්වරුද මෙම රැස්වීම සදහා සහභාගී වූහ.
     
    AP/DMU- kandy
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya