ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    දුම්රිය ගේට්ටුකරුවන් වෙනුවට සිවිල් ආරක්ෂක භටයින් - ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති

    නොවැම්බර් 02, 2016
    වැඩ වර්ජනයේ යෙදී සිටින අනාරක්ෂිත දුම්රිය ගේට්ටුකරුවන් හේතුවෙන් අනාරක්ෂිත වී ඇති ස්ථාන සඳහා සිවිල් ආරක්ෂක භටයින් යෙදවීමට පියවර ගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.
     
    අද (02) දින පෙරවරුවේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පොලිසිය, සිවිල් ආරක්ෂක අංශ ප්‍රධානීන්, කම්කරු දෙපාර්තමේන්තු නියෝජිතයින්, මහා භාණ්ඩාගාර නියෝජිතයින්, දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කොට ඇත. 
     
    අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටු 676ක් ඇති බවත් ඒවායේ සේවයේ යෙදී සිටින ගේට්ටුකරුවන්ගෙන් 25%ක ප්‍රමාණයක් එනම් 175ක් පමණ වැඩ වර්ජනයේ යෙදී සිටින බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා වැඩ වර්ජනයේ නොයෙදුණු 75% ක පිරිස සඳහා සිය ස්තූතිවන්ත පළ කර සිටියේය. 
     
    ඔවුන් ප්‍රථමයෙන් සේවයට එක් වුයේ ස්වේච්ඡා සේවකයින් වශයෙන් නමුත් පසුව පොලීසිය මැදිහත්ව එම ස්ථාන අසල පදිංචිකරුවන්ට රුපියල් 22500 ක මුදලක් මහා භාණ්ඩාගාරය මගින් ලබාදී ඒ කාර්යයයෙහි යෙදවු අතර එම ගේට්ටුකරුවන් කිසිසේත්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් නොවන බවද එසේ බඳවාගැනීමට ප්‍රතිපාදන නොමැති බවත් අමාත්‍යවරයා පැවසීය. 
     
    කෙසේවෙතත් මෙම ගැටලු නිරාකරණය කර ගැනීමට අමාත්‍ය මණ්ඩල නිර්දේශය අනුව අනාරක්ෂිත දුම්රිය ගේට්ටුකරුවන් නොමැති අවස්ථාවල සිවිල් ආරක්ෂක භටයින් ඒ සඳහා යෙදවිය යුතු බවට කමිටු නිර්දේශ ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම අනාරක්ෂිත ගේට්ටු 200ක් වෙනුවෙන් ස්වයංක්‍රීය විදුලි සංඥා පද්ධති වසර දෙකක් ඇතුළත ඉදිකිරීමට පියවර ගන්නා බවද අමාතයවරයා පැවසීය. එමෙන්ම මේ දිනවල මෙම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග භාවිතා කරන අය වෙනදාටත් වඩා විශේෂ අවධානයකින් දුම්රිය හරස් මාර්ග භාවිතා කළ යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
     
    විශේෂයෙන්ම මෙම වැඩ වර්ජකයින්ගේ වැඩ වර්ජනය කඩාකප්පල් කිරීමේ අවශ්‍යතාවයක් තමාට නොමැති බවද ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට මෙම තීරණය ගත් බවද අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම සාකච්ඡාවේදී අවධාරණය කළේය.
     
    “ඒ වගේම මේ වැඩ වර්ජකයින් තවදුරටත් වැඩ වර්ජනයේ යෙදී සිටියහොත් අප විසින් පොලිසියට උපදෙස් ලබා දී තිබෙනවා ඒ ප්‍රදේශයෙන්ම රැකියා නොමැති අය හෝ සිවිල් ආරක්ෂක කමිටුවල අය මේ සඳහා යොදවා ගන්නා ලෙසට”  යැයිද අමාත්‍යවරයා මෙහිදී තවදුරටත් ප්‍රකාශ කර සිටියේය. 
     
    මෙම අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් නිහාල් සෝමවීර මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් ද සහභාගි වුහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya