ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    බුද්ධ ශාසන අමාත්‍යංශයට 2017 වසර සඳහා මිලියන 680ක්

    දෙසැම්බර් 05, 2016
    2017 අයවැය ප්‍රතිපාදන මගින් බුද්ධ ශාසන අමාත්‍යංශය වෙත රුපියල් මිලියන 680ක මුදලක් වෙන් කොට ඇති බව බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රප්‍රේම ගමගේ මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    ඒ අනුව මෙම මුදල් පූජා භූමි සංවර්ධනය, දුෂ්කර බෞද්ධ විහාරස්ථාන හා දහම් පාසල් සංවර්ධනය, දහම් පාසල් පෙළ පොත් මුද්‍රණය හා ගුරු නිල ඇඳුම් ලබාදීම වැනි ව්‍යාපෘති සඳහා වෙන් කෙරෙන බවත් ලේකම්වරයා පෙන්වා දුන්නේය.
     
    පසුගිය 2016 වසරේ දී කැලණිය විද්‍යාලංකාර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ඉදිකිරීම වෙනුවෙන් මිලියන 684.64ක් ද, කොත්මලේ මහවැලි සෑය ඉදිකිරීම වෙනුවෙන් මිලියන 76ක්, නේපාලයේ භූමි කම්පාවෙන් හානියටපත් ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් මිලියන 345ක්, දුෂ්කර දහම්පාසල් සංවර්ධනය වෙනුවෙන් මිලියන 100ක්, විහාරස්ථාන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් මිලියන 120ක්, පූජා භූමි සංවර්ධනය වෙනුවෙන් මිලියන 100ක්, පුණ්‍යග්‍රාම වැඩසටහන වෙනුවෙන් මිලියන 24.0ක්, වෙනත් භාෂා ප්‍රවර්ධනය හා ආගමික සහජීවනය වෙනුවෙන් මිලියන 6ක්, මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් මිලියන 1.72ක් වැය කොට ඇත.
     
    2017 වසරේ දී එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම හා බෞද්ධ සමුළුව, රාජ්‍ය වෙසක් උත්සවය, පිළියන්දල ශාක්‍ය ජනපදය ප්‍රතිනිර්මාණය කිරීම, රාජ්‍ය වෙසක් උත්සවයට සමඟාමීව කුල දරුවන් 500ක් සසුන්ගත කිරීම, උතුරු, උතුරු මැද හා නැගෙනහිර පළාත්වල ප්‍රතිආශ්‍රිතකරණ ජල පෙරණ යන්ත්‍ර ස්ථාපනය කිරීමේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම, ශ්‍රී දළඳා මාලිගාවට අනුයුක්තව පල්ලේකැලේ ප්‍රාසාංගික පුහුණු ආයතනයක් ආරම්භ කිරීම වැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතය.
     
    අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යංශය සඳහා මෙවර වැඩි මුදලක් වෙන් කිරීම හේතුවෙන් යම් යම් අමාත්‍යංශයන් වෙත මුදල් ලබාදීමේ දී අඩුවක් දක්නට ලැබුණ ද බුද්ධ ශාසන අමාත්‍යංශය විසින් 2017 වසර සඳහා වන ව්‍යාපෘති වෙනුවෙන් ඉල්ලීම් කළ ප්‍රමාණය අනුව මුදල් ලැබී ඇති බව බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
     
    උතුරු පළාතේ බෞද්ධ ස්ථාන ඉදිකිරීමට විරුද්ධව උතුරු පළාත් සභාව විසින් යෝජනාවක් සම්මත කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී මාධ්‍යවේදීහු අමාත්‍යවරයාගෙන් කරුණු විමසීමේ දී ඒ මහතා කියා සිටියේ පළාත් සභාවකට ඇති බලයෙන් පිට නීති පැනවීම සම්බන්ධයෙන් කිසිඳු දෙයක් සිදු නොවන බවත් ජනතාව සතු අයිතීන් අහිමි කිරීමට කිසිඳු පළාත් සභාවටකට අයිතියක් ද නොමැති බවයි.
     
    වසර 30ක් පුරාවට උතුරු නැගෙනහිර ප්‍ර දේශවල ඇති බෞද්ධ ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමට අවස්ථාවක් නොතිබූ බවත් වර්තමානයේ පවතින වාතාවරණය අනුව සංවර්ධන කටයුතු සිදුකරමින් පවතින බවත් බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya