ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    දුම්කොළ සමාගම් හි බලපෑම්වලට යටත් වන්නේ නැහැ - සෞඛ්‍ය ඇමැති

    දෙසැම්බර් 19, 2016
    දුම්වැටි මිල වැඩි කිරීමෙන් සහ බදු වැඩි කිරීමෙන් දුම්කොළ සමාගම පාඩු ලබන්නේ නම් එය වසා දැමිය හැකි බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. 
     
    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ගම්පහ ඔසුසැල විවෘත කිරීමේ අවස්ථාවට පසුගියදා එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. 
     
    "දුම්කොළ බදු 90%ක් දක්වා වැඩි කරන විට විවිධ බලපෑම් එල්ල වුණා. යහපාලන රජයෙනුත් බලපෑම් එල්ල වුණා. නමුත් මම එම බලපෑම්වලට යටත් වුනේ නැහැ. මට එහිදී විද්වතෙක් ප්‍රකාශ කළා ඉදිරි කාලයේ දී ඔබටත් රට බාර ගන්න පුළුවන් කියලා. එම නිසා ජනතාවගේ පැත්තේ සිට තීන්දු තීරණ ගන්නා ලෙස එම විද්වතා මට පෙන්වා දුන්නා මම තීන්දු තීරණ ගන්නේ අසරණ ජනතාව වෙනුවෙන්. දුම්කොළ සමාගම පාඩු ලබන බව ප්‍රකාශ කරනවා. දුම්කොළ සමාගම වසා දමන්න පුළුවන්. කිසිවෙක් ඊට විවේචන එල්ල කරන්නේ නැහැ" යැයි ද කීය. 
     
    80% දක්වා රූපමය අවවාද ඇතුලත් කරන විට ඊට බලපෑම් එල්ල වූ බවත් ශ්‍රේෂ්ඨාධිකරණය එම බලපෑම් මත රූපමය අවවාද 60%ක් දක්වා අඩු කළ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 
     
    "ජනාධිපතිවරයා විවේචනය කිරීමට ජනතාවට අවස්ථාව උදාවෙලා තිබෙනවා. ජනාධිපති ක්‍රමය අහෝසි කර නව ව්‍යවස්ථාවක් ගෙනඑන්නෙත් යහපාලන රජයයි. මෙම රජය තුළ දුර්වලකම් තිබෙනවා. වෙනස නොතේරෙන අයත් රජය තුළ සිටිනවා. එම දුර්වලතා මඟහරවා යහපාලන රජය ඉදිරියටම ගෙනයනවා. ඖෂධ ජාවාරම නතර කිරීම සඳහා රජය තවදුරටත් කැපවී සිටිනවා" යැයි ද පැවසීය. 
     
    මෙම උත්සවයේ දී ගම්පහ වතුපිටිවල සහ මිගමුව යන රෝහල්වලට චතුර සේනාරත්න පදනම විසින් රක්තවේද පරික්ෂණ යන්ත්‍ර 03ක් පිරිනමන ලදී. 
     
    මෙම අවස්ථාවට හිටපු නියෝජ්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සරත් ලියනගේ, කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එච්.එම්.එම්. රූමි යන මහත්වරු ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya