ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    වියට්නාම් - ශ්‍රී ලංකා වෙළෙඳාම නැංවීමට එරට වාණිජ මණ්ඩලයේ සක්‍රීය දායකත්වය

    අගෝස්තු 29, 2014
    වියට්නාමයේ දෙ දින නිල සංචාරයක නිරත වූ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා හා වියට්නාම් කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ (VCCI - Hanoi) ලේකම් ජනරාල් පාම් ති තූ හැන්ග් මහත්මිය (Pham Thi Thu Hang) සමඟ ද්වීපාර්ශ්වික වෙළෙඳාම දියුණු කිරීමට අදාළ පුළුල් සාකච්ඡා පැවැත්වූ අතර, එමගින් දෙරටටම ප්‍රතිලාභ රැසක් අත්කර ගැනීමට අවස්ථාව උදා වූ බැව් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය පවසයි.
    මෙම සාකච්ඡා වියට්නාමයේ හැනෝයි නුවර, ඩාවෝ ඩුයි ඇන්හ් වීදියේ පිහිටි එම වාණිජ මණ්ඩල ජාතික මූලස්ථානයේ දී පසුගියදා පැවැත්විණි. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක බන්දුල එගොඩගේ, වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඩී.එස්. කරුණාරත්න, වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති අයිවන් අමරසිංහ යන මහත්වරු ද සාකච්ඡාවන් සඳහා සහභාගී වූහ.

    නව ආසියානු කණ්ඩායමේ විශාලතම ආර්ථිකයට හා වෙළෙඳපොළට හිමිකම් කියන වියට්නාමයේ වෙළෙඳ ප්‍රජාව හා ශ්‍රී ලංකා වෙළෙඳ ප්‍රජාව අතර ඍජු සබඳතා ගොඩනැංවීම මින් ප්‍රමුඛ වන අතර, එරට තුළ වියට්නාම් - ශ්‍රී ලංකා වෙළෙඳ සංසදයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය මූලික එකඟතා ඇතිකර ගැනීම සෙසු යෝජනා අතර වේ. අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉදිරිපත් කරන ලද යෝජනා කිහිපයක් පිළිගනිමින් වියට්නාම කර්මාන්ත හා වාණිජ මණ්ඩල ලේකම් ජනරාල් පාම් ති තූ මහත්මිය පැවසුවේ ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා වියට්නාමය තුළ හොඳ වෙළෙඳපොළ අවස්ථාවන් පවතින අතර, ලාංකික කර්මාන්තකරුවන්ට ඔවුන්ගේ කර්මාන්ත ශාලා තම රට තුළ ස්ථාපිත කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදී ඇති බවය.
     
    වියට්නාමය සමඟ වෙළෙඳ සබඳතා ගොඩනඟාගැනීම වෙනුවෙන් සිදු කළ සාර්ථක දූත මෙහෙවර වෙනුවෙන් හා ද්වීපාර්ශ්වීය ව්‍යාපාරික සංසදයක් පිහිටුවීමට යෝජනා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා අමාත්‍යවරයාට කෘතඥ වන බවද ඇය මෙහිදී ප්‍රකාශ කළාය. මෙම සංචාරය හරහා ඇතිකර ගත් දෙරට අතර ව්‍යාපාරික සබඳතා වර්ධනය කරනු වස්, වියට්නාම් - ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදයක් වියට්නාමය තුළ ස්ථාපිත කිරීමට හා දෙරටේ ව්‍යාපාරිකයන් අතර මුහුණට මුහුණලා කෙරෙන ව්‍යාපාරික සාකච්ඡා (B to B Meeting) පැවැත්වීමට තමා බලාපොරොත්තු වන බවද ඇය පැවසුවාය. ශ්‍රී ලංකා ව්‍යාපාරිකයන්, කර්මාන්තකරුවන්ගේ හා අපනයනකරුවන්ගේ තොරතුරු, වියට්නාම් ව්‍යාපාරික දත්ත ගොනුවට ඇතුළු කිරීමෙන් මොවුන් පිළිබඳ උනන්දුවක් ඇති දෙරටේම පිරිස් වෙත පහසුවෙන් මූලාශ්‍ර සම්පාදනයට හැකි වනු ඇති බවද වාණිජ මණ්ඩල ලේකම් ජනරාල්වරිය විශ්වාසය පළ කළාය. එමෙන්ම, ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පූර්ණකාලීනව වියට්නාමය වෙනුවෙන් පත්කිරීමට ගෙන ඇති තීරණය ද ඇය අගය කළාය.
     
    වියට්නාම් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය එරට වෙළෙඳ, කර්මාන්ත හා ව්‍යවසාය කටයුතු පිළිබඳ එරට ඇති එක ම ජාතික ආයතනය වන අතර, සම්මේලන 300කට අධික සංඛ්‍යාවක් මේ සමඟ බද්ධව පවතී. තවද, වියට්නාම් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය තුළ 110,000 ඉක්ම වන ඍජු හා වක්‍ර කර්මාන්තකරුවන් පිරිසක් සාමාජිකත්වය හිමිකර ගෙන සිටිති. වියට්නාමය ඇ.ඩො. බිලියන 142ක පමණ දේශීය දළ දේශීය නිෂ්පාදිතයකට උරුමකම් කියන රටක් වන අතර, එය සුවිසල් වූ මීකොං උප කලාපයේ (Greater Mekong Sub Region) විශාලතම ආර්ථිකය හා වෙළෙඳපොළ වන්නේය. මේ හේතුවෙන් වියට්නාමය සමඟ පවත්වන වෙළෙඳ සබඳතා ශ්‍රී ලංකාවට ඉතා වාසිදායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya