ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    වියදම් පාලනය කිරීම පුද්ගල බද්ධ කාරණයකි

    අගෝස්තු 29, 2014
    ජීවන වියදම වැඩියි කියා කීවත් ජීවන වියදම තුළ ආහාර ද්‍රව්‍ය සඳහා යන වියදමට වඩා ආහාර නොවන ද්‍රව්‍ය සඳහා කරන වියදම වැඩි වී ඇති බව ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා පැවසීය. 


    අමාත්‍යතුමා මේ අදහස් පළ කළේ රුපියල් මිලියන 40ක විමධ්‍යගත අරමුදල් යොදවා කටුගම්පොළ මැතිවරණ කොට්ඨාසයේ යටිතල පහසුකම් සංවර්ධනය ව්‍යාපෘති ආරම්භ කිරීමේ උළෙල අමතමිනි. 

     

    මාර්ග සංවර්ධනය ව්‍යාපෘති, ප‍්‍රජා සංවර්ධන මධ්‍යස්ථාන සහ ග‍්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ මෙහිදී ආරම්භ කෙරිණි. 

     

    මෙම අවස්ථාවේ දී අමාත්‍යතුමා තවදුරටත් අදහස් දක්වමින් මෙසේ ද පැවසීය. සමාජය සංකීර්ණවීමත් සමඟ වියදම් වැඩි වී ඇති බවත් සමාජය ඉතා සරල නම් වියදම් අඩුවන බවත් පැවසීය. විදුලිය නොමැතිව කුප්පි ලාම්පු එළියෙන්, ජලය ළිඳෙන්ගෙන පයින් ගමන් ගොස් ජීවත් වූ කාලයේ වගේ නො වේ. අද මේ නිසා වියදම් පාලනය කිරීම පුද්ගල බද්ධ කාරණයක් බවත් ඒ සඳහා ආණ්ඩුවට දොස් පැවරීම අර්ථාන්විත නොවන බවත් පැවසී ය. සෑම ගෙදරකම සාමාජිකයන් සංඛ්‍යාවට දුරකතන තිබෙන බවත් ඒ සඳහා බිල්පතක් ලැබෙන බවත් සෑම ගෙදරකටම මෝටර් සයිකලයක් තිබෙන බවත් පොදු ප‍්‍රවාහන සේවා භාවිත කරන පිරිස අඩු වී තිබෙන බවත් පෙන්වා දුන්නේය. 


    කාන්තාවන් වැඩිපුර පොදු ප‍්‍රවාහන සේවා භාවිත කළත් දැන් ඔවුන් ද ස්කූටර් භාවිත කිරීමට පුරුදුව සිටී. සමාජය වෙනස් වීමත් සමඟ ම වියහියදම් ද වැඩි වී තිබේ. ඇතැම් පිරිස් මේ වෙනස් වීම ඇතුළේ ජීවත්වෙමින් ජීවන වියදම වැඩියි කියා ආණ්ඩුවට බනින බවත් පෙන්වා දුන් අමාත්‍යතුමා කිසිම රජයකට සමාජය එදා තිබුණු තැන තැබීමට නොහැකි බවත් සමාජ පරිවර්තනයකට කටයුතු කළ යුතු බවත් එය කරන ආකාරය පමණක් වෙනස් බව පැවසීය.
     

    සමාජ පරිවර්තන සම්බන්ධයෙන් චිත්තරූප මවමින් විවිධ චෝදනා රජයට එල්ල කිරීමට විපක්ෂය පුරුදු වී තිබෙනවා. ජේ.වි.පී. එකට යු.එන්.පී. එකට රජය මොනව කළත් වැරදියි. හොඳ කළත් වැරදියි. නරක කළත් වැරදියි. සමහරු අහනවා ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩුයි. ඇයි තෙල් මිල අඩු කරන්නේ නැත්තේ කියා. මේ වාගේ විවිධ බොහෝ නොදන්න කරුණු ගැන කතා කරන්න විවිධ පිරිස් උත්සාහ ගන්නවා. ඒකට හේතුව මිනිස්සු පුරුදු වෙලා තියෙනවා, කටකතා විශ්වාස කරන්න. බොහෝ විට කරුණු සොයා බලා අධ්‍යයනය කිරීමට කටයුතු කරන් නැහැ. පුවත්පත් කියවන්නේ නෑ. 

    සංවර්ධන ව්‍යාපෘති තුළින් ගම් සංවර්ධනය කිරීමට රජය කටයුතු කරනවා. මේ තුළින් නගරයේ තිබෙන පහසුකම් ගමට ගෙන ඒමට කටයුතු කරනවා. ඒකටත් විවිධ කටකතා පතුරුවන්නට ජේ.වි.පී. එක යු.එන්.පී. එක කටයුතු කරනවා. 

    පරිභෝජනවාදී ආර්ථිකය වෙළෙඳපොළ තරගකාරීත්වය සෑම විටම වෙළෙඳපොළට නව්‍යත්වයෙන් යුතු භාණ්ඩ වෙළෙඳපොළ ආක‍්‍රමණය කරන නිසා පාරිභෝගිකයාට පීඩනයක් එකතු කරනවා. පාරිභෝගිකයන්  ආරක්ෂා කිරීම සඳහා මගපෙන්වීම රජයට කළ හැකි වුවත් පාරිභෝගිකවාදය තුළ නිර්මාණය වන පීඩනය කළමනාකරණය කර ගැනීම පාරිභෝගිකයා සතු වන බවත් පෙන්වා දෙන ලදී. සමහරුන් ගෙදර තිබෙන භාණ්ඩය වෙන කෙනෙකුට දී හෝ වට්ටම් මිලකට නැවත කඩයටදී අලුත් උපකරණ මිලදී ගැනීමට පුරුදුවී සිටින බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා විවෘත ආර්ථික ක‍්‍රමය තුළ මෙය නතර කිරීමට නොහැකි බවත් මේ නිසා සෑම කෙනෙකුම ණය උගුලක හිරවී ඇති බවත් මුදල් මත පවතින සමාජයක් නවතින්නේ මෙම ක‍්‍රමයට යට වී බවත් පැවසීය. 

    මේ නිසා සෑම දෙයම මුදල මත තීරණය කිරීමට පෙළඹී ඇති බවත් පෙන්වා දුන්නේය. පරිභෝජනවාදයේ හොඳම ගොදුර බවට පත්වී සිටින්නේ කාන්තාව බවත් ඒ නිසා මාධ්‍ය මඟින් ඔවුන් ඉලක්ක කර ගනිමින් විවිධ ප‍්‍රචාරණ කටයුතු සිදුකරයි. ස්වභාවික ව්‍යසන සඳහා මේ ආණ්ඩුව වගකිව යුතුයි කියා ඇතැම් දේශපාලන පක්ෂ චෝදනා කරනවා. පරිභෝජනවාදී සමාජයක ජීවත් වන මේ සියවසේ හොඳින් මතක තියා ගන්න ඉදිරි සියවසේ ජලය ඉතාමත් සීමිත ව භාවිත කිරීමට සිදුවෙන සම්පතක් වෙනවා. ඇතැම් රටවල දැනටමත් ජලය සීමාසහිතව භාවිත කිරීමට පුරුදු වී සිටිනවා. අනුරාධපුර, පොලොන්නරුව ඇතුළු වියළි කලාපයට වසර දෙකකින් වැස්ස හරිහැටි ලැබී නැහැ. ජලය පරිභෝජනය තුළ අරපිරිමැස්ම හා කළමනාකරණය කිරීම පිළිබඳව සිතා බැලිය යුතුයැයි ද අමාත්‍යතුමා මෙහිදී ප්‍රකාශ කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya