ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    මැද පෙරදිග අස්ථාවරත්වය ශ්‍රී ලංකාවට ද ගෙන ඒමේ ප්‍රයත්නයක්

    සැප්තැම්බර් 01, 2014
    බටහිර සල්ලි මත යැපෙන අන්තවාදි කල්ලි මැද පෙරදිග රටවල් අස්ථාවර කරන පරිද්දෙන්ම ශ්‍රී ලංකාව ද අස්ථාවර කිරීමට ජාතිවාදය, ආගම්වාදය මෙරට තුළ ඇති කරමින් තිබෙන බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.
     
    වීරවංශ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ නිවාස 39කින් සමන්විත මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘතියක් ලෙස ඉදිකෙරෙන මහනුවර, පල්ලෙකැලේ "ලිවිං හෝම්ස්" නිවාස ව්‍යාපාතියේ ඉදිකිරීම් සමාරම්භය සඳහා ඊයේ (31) දින පැවති උත්සව අවස්ථාවකට සහභාගී වෙමිනි. 
     
    "අද ලෝකයේ බොහෝ රටවල ඇතිවන අවාසනාවන්න කැරලි කෝලාහල, විවිධ අභ්‍යන්තර  අර්බුදයන් නිසා ඒ රටවලට ඉදිරියට යෑමට නොහැකි තත්ත්වයක් මතුවෙලා තියෙනවා. මැද පෙරදිග රටවලට තියෙන තෙල් සම්පත ඒ රටවලට විපත කැටුව ආ සම්පත බවට අද පත්වෙලා තිබෙන බව පැහැදිලිව පේනවා. යාබද ඉන්දියාවේ වුණත් විවිධ ත්‍රස්තවාදී කල්ලි විවිධ තැන්වල හොල්මන්  කරන තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. සෑහෙන කාලයක් තිස්සේ මෙවැනි අවාසනාවන්ත ප්‍රශ්න අර්බුදයන්ට ලක් නො වූ චීනයේ පවා අද විවිධ ප්‍රශ්න, අභ්‍යන්තර කැරළි කෝලහල ඇතිවෙලා තියෙනවා. චීනය තුළ ඉන්න ඉස්ලාම් ආගම අදහන සුළුතර ජන කොටසකට වෙනම පාලනයක් ඉල්ලා සිටීමේ සටනක් ආරම්භ වීම තුළ චීනයේත් විවිධ අභ්‍යන්තර ප්‍රශ්න මේ වන විට මතුවෙමින් පවතිනවා".
     
    "සිංහල, දෙමළ, මුස්ලිම් මිනිස්සු සමගියෙන් සහජීවනයෙන් ජීවත් වූ මේ රට භේද බින්න කිරීමට බටහිර රටවල් උත්සාහ දරනවා. මේ මහනුවර පළාතේ ඉඩම්කඩම් මුස්ලිම් ජනතාවට ලබා දීලා තියෙන්නේ සිංහලේ රජ්ජුරුවො කියලා තමයි මේ පළාත තුළ පැවසෙන්නේ. ඒ ජනතාවට තනතුරු තානාන්තර ලබා දුන්නේ සිංහලයේ රජ්ජුරුවෝ. සිංහල වාසගම් හිමි මුස්ලිම් ප්‍රජාවක් මේ උඩරට ඉන්නවා. මේ විදියට සියලු දෙනාම එකට එක්ව සමගියෙන් යුක්තව ජීවත් වූ මේ රට අස්ථාවර කිරීමේ උපායශීලී ක්‍රියාමාර්ගයන් රට තුළ සිදුවෙන බව පෙනී යනවා".
     
    අන්තවාදී කණ්ඩායම් හා ඔවුන්ගේ ක්‍රියාකාරකම් මැනවින් හඳුනාගෙන ක්‍රියා නොකළොත් මේ රටේ ජීවත් වන සමස්ත සිංහල, දෙමළ මුස්ලිම් ඇතුළු සියලු ජනතාව මහා විපතක ගොදුරක් බවට පත් වෙන බවද අමාත්‍යවරයා පැවසීය.
     
    මෙවැනි මධ්‍යම පාන්තික නිවාස ඉදිකිරීම සඳහා භාවිතයට ගැනෙන ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු වාණිජ හා ආකර්ෂණීය වටිනාකමකින් යුත් ඉඩම් භාවිතයට ගනු ලබන බවත්, ඒ ඔස්සේ පෞද්ගලික දේපළ සංවර්ධක ආයතනයන් සමග ඒකාබද්ධව මෙම නිවාස වැඩසටහන විධිමත්ව සිදු කරනු ලබන බවත් පැවසීය. 
     
    මේ නිවාස වැඩසටහන හරහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අත්වන මූල්‍යමය ප්‍රතිලාභ රටේ අඩු ආදායම්ලාභී පවුල්වල ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන නිවාස වැඩසටහන් සඳහා යොමු කිරීමට තමන් හා තම අමාත්‍යාංශය බලාපොරොත්තු වන බවත් මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    "මහින්ද චින්තන ඉදිරි දැක්ම" යටතේ විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක ජනසෙවණ නිවාස දස ලක්ෂයේ "සහස්‍ර ලංකා" ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට සමගාමීව රාජ්‍ය හා පෞද්ගලික අංශ ඒකාබද්ධ නිවාස වැඩසටහන යටතේ මෙම නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ.
     
    මධ්‍යම  පාන්තික නිවාස ව්‍යාපෘතියක් ලෙස ඉදිවෙන මෙම නිවාස ව්‍යාපෘතිය නිවාස 39කින් සමන්විත මහල් නිවාස ව්‍යාපෘතියකි. මේ සඳහා රුපියල් මිලියන 218.53 ක පමණ මුදලක් වැය වේ. රථ වාහන නැවැත්වීමේ පහසුකම්, නාන තටාක, කායවර්ධන මධ්‍යස්ථානයක් ඇතුළු පහසුකම් රැසකින්  "ලිවිං හෝම්ස්" නිවාස ව්‍යාපෘතිය සමන්විත වේ. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හා පෞද්ගලික දේපළ සංවර්ධන ආයතනයක් විසින් මෙම නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබයි.
     
    පල්ලෙකැලේ "ලිවිං හෝම්ස්" නිවාස ව්‍යාපෘතියට අදාළ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාව විසින් අනුමත කරන ලද ගොඩනැගිලි සැලසුම් කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ සභාපති අසේල ඒකනායක මහතා විසින් විමල් වීරවංශ ඇමතිතුමාට පිළිගන්වන ලදී.
     
    මෙම අවස්ථාවට  ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල, මධම පළාත් සභා මන්ත්‍රී ලින්ටන් විජේසිංහ, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් පී. එච්. එල්. විමලසිරි පෙරේරා, එහි අතිරේක ලේකම් (නිවාස සංවර්ධන) කේ. ඒ. තිලකරත්න, මහනුවර දිසාපති ගාමිණී සෙනවිරත්න, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී බ්‍රිගේඩියර් මහින්ද මුදලිගේ, ප්‍රයිම් ලෑන්ඩ්ස් ආයතනයේ සභාපති බී. ප්‍රේමලාල් යන මහත්වරු, නිලධාරීහු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya