ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ඛනිජතෙල් සංස්ථාවේ මූල්‍යමය අලාභය වංචාවක් ලෙස හුවා දැක්වීම තාර්කික නො වේ

    සැප්තැම්බර් 06, 2014

    ඛනිජතෙල් සංස්ථාව උසස් ප‍්‍රමිතියෙන් යුතු ඉන්ධන, පාරිභෝගිකයාට ලබාදීමට කටයුතු කරනවා වගේ ම ඛනිජ තෙල් නිෂ්පාදන සුබසාධන මිලක් යටතේ ලබාදීමට කටයුතු කරන බවත් මේ නිසා ඛනිජ තෙල් සංස්ථාව මූල්‍යමය වශයෙන් අලාභ ලබන බවත් පෙන්වා දුන්න ද එය වංචාවක් ලෙස හුවා දැක්වීම තාර්කික නොවන බවත් ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ඊයේ (05) කුලියාපිටිය දැයට කිරුළ වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ඉදිකරනු ලැබූ ඉන්ධනහල් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. 


    2007 - 2009 වර්ෂවල දී ඛනිජ තෙල් බැරලයක මිල ඇමරිකන් ඩොලර් 145ක් වූ අතර රජය ඉන්ධන මිල සංශෝධනය නොකර ඒ බර රජය විසින් දරනු ලැබූ බවත් එම අලාභය ඛනිජ තෙල් සංස්ථාව මඟින් ගෙවමින් සිටින බවත් පැවසීය. 
    2014 වර්ෂයේ පළමු 06 මාසය තුළ රුපියල් බිලියන 2.9ක ලාභයක් වාර්තා කර තිබෙනවා. ඇතැම් අවස්ථාවල ඉන්ධන ආනයනය කළත් ඉන්ධන ප‍්‍රතික්ෂේප කරන බවත් අතීතයේ රට තුළට එවන් ඉන්ධන පැමිණි බවත් එය ඛනිජ තෙල් සංස්ථාවට අභියෝගයක් වූ බවත් ඔහු පෙන්වා දුන්නේය. 

    විවෘත වෙළෙඳපොළෙන් මිලදී ගැනීමේ දී ප‍්‍රමිතිය පිළිබඳව ප‍්‍රශ්න ඇතිවිය හැකියි. ඒ නිසා පරීක්ෂණාගාර ක‍්‍රමවේදය වෙනස්කර ඇති බවත් ඔහු කීය. යම් කිසි ප‍්‍රමිතියක් වෙනස් වුවහොත් එම තෙල් තොග ආපසු හරවා යවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා මිලදී ගැනීම් ක‍්‍රමවේදය වෙනස් කරමින් ක්ෂණික මිලදී ගැනීම්වලින් ඉවත් වී දිගු කාලීන මිලදී ගැනීම් සිදුකරන බවත් පැවසීය.

     

    ඒ නිසා එක් තෙල් බැරලයකින් ඇමරිකන් ඩොලර් 02ක් පමණ ඉතුරු කරගත හැකියි. මේ සියලු ඉතුරුම් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටයි. කිසි ම අවස්ථාවක ඛනිජ තෙල් සංස්ථාව කොටස් කිරීමට කටයුතු නොකරන බව පැවසූ ඔහු ඛනිජ තෙල් කර්මාන්තය රටකට අත්‍යවශ්‍ය බවත් එය රජය සතුවිය යුතු බවත් පැවසීය.
      
    ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ආකර්ෂණීය රාජ්‍ය ආයතනයක් කිරීමේ වගකීම තමා සතු බවත් ඛනිජ තෙල් නිෂ්පාදන සියල්ල ආනයනය කර අලෙවි කරන නිසා සහනාධාර ලබාදීම පිළිබඳව සිතා බැලිය යුතු බවත් මිලදී ගැනීම සඳහා ඩොලර් ගෙවිය යුතු නිසා රට තුළ අලෙවි කිරීමේදී සහනාධාර ලබාදීම ආයතනය පාඩු ලැබීමට ප‍්‍රධාන හේතුවක් බව ඔහු කීය. නමුත් සෑමවිටම දේශීය වෙළෙඳපොළ මිල සාධාරණව පවත්වාගෙන යනවා. පෙට්රල් ලීටරයක් මෙරටට ගෙන එන මිල රුපියල් 90ක් යනුවෙන් පසුගිය දා පුවත්පත්වල පළවු තොරතුරු නිවැරදි නො වේ. පෙට්රල් ලීටරයක් මෙරට වරායෙන් ගොඩබාන විට රුපියල් 102 වේ. පෙට්රල් සඳහා රුපියල් 45ක බද්දක් රජයට ගෙවනු ඇත. ලෝකයේ සෑම රජයක් ම ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා බදු අය කරයි. එය 40% - 80% දක්වා ප‍්‍රමාණයකි. නමුත් ආසියාවේ අඩු ම බදු ප‍්‍රතිශතයක් අය කරන්නේ ද අඩු ම තෙල් මිල පවතින්නේද ලංකාවේ බව අමාත්‍යවරයා පැවසීය.

    තෙල් ගබඩා තෙක් ප‍්‍රවාහනය කිරීම සඳහා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සතු නළ සඳහා වන ගාස්තු, තෙල් ගබඩා කිරීම, ප‍්‍රාදේශීය තොග බෙදා හැරීමේ මධ්‍යස්ථාන සඳහා ප‍්‍රවාහනය වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවටත් බෙදාහැරීම සඳහා ප‍්‍රවාහන ටැංකිකරුවන්ටත් කරනු ලබන ගෙවීම් ඉන්ධන හල් හිමියන් සඳහා තෙල් අලෙවිය සඳහා ගෙවනු ලබන කොමිස් මුදල්, ඛනිජ තෙල් සංස්ථා නඩත්තු වියදම් සඳහා මුදලක් වැය වේ. ඒවා සලකා මිල තීරණය කරනු ඇත. මෙම මිල සූත‍්‍රය අනුව අදත් ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 05ක අලාභයක් දරයි. භූමිතෙල් ලීටර්යක් සඳහා රුපියල් 23ක අලාභයක් දරයි. දිනකට ඩීසල් මෙට්රික් ටොන් 5000ක් අලෙවි කරන බවත් පෙට්රල් මෙට්රික් ටොන් 2000ක් අලෙවි කරන බවත් ඔහු පැවසීය. 

    පෙට්රල් අලෙවියෙන් යම් ලාභයක් සංස්ථාවට පැවතිය ද ඩීසල් අලෙවියෙන් ලබන පාඩුව පෙට්රල් අලෙවියෙන් ලබන ලාභයෙන් පියවා ගත නොහැකියි. නමුත් ඛනිජ තෙල් සංස්ථාව ද රාජ්‍ය ප‍්‍රතිපත්තිවලට අනුගත වෙමින් සුබසාධන පියවරක් වශයෙන් වර්තමානයේ දී බොහෝ ඉන්ධන නිෂ්පාදන සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට යම් පාඩුවක් දැරීමට සිදුවී ඇත. නමුත් රජය ජනතාවට ලබා දී ඇති සුබසාධන පියවරක් වශයෙන් මෙම පාඩුව දරමින් මේ වර්ෂයේ ලාභ ලබන තත්වයට පත්වී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya