ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    නොරොච්චෝලේ තෙවන අදියර හරහා විදුලි බිල්පතට සහනයක්

    සැප්තැම්බර් 07, 2014
    නොරොච්චෝලේ විදුලි බලාගාරයේ 3 වන අදියර විවෘත වීමත් සමග කුමන හේතුවක් නිසාවත් මේ රටේ විදුලිය කප්පාදුවක් සිදු නොවන බවත් ඒ වගේ ම විදුලි පාරිභෝගිකයාගේ බිල්පතට යම් සහනයක් ලැබීමට ද නියමිත බවත් යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මාතර දී ප‍්‍රකාශ කළේය.
     
    අපේ රටේ අධ්‍යාපනයේ පංති කාමර 19 වන සියවසේත් ගුරුවරු 20 වැනි සියවසේත් සිටියදී අධ්‍යාපනය ලබන දරුවන් 21 වැනි සියවසේ සිටින බවත්, මේ නොගැළපීම නිවැරදි නොකර ආශ්චර්යය කරා යා නොහැකි බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
     
    ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේ මාතර ශාඛාව විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සවයේ දී අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය. පළමු සිසුන් කණ්ඩායම ඇතුළත් කරගැනීම ද මෙහිදී සිදු විය. කුසපත් ඇදීම මගින් එම සිසුන් ගෙන් එක් අයෙකුට ශිෂ්‍යත්ව ප‍්‍රදානයක්ද කරන ලදි.
     
    "අද මාතර පුරවරයට සුවිශේෂි අවස්ථාවක් උදාවී තිබෙනවා.  NIBM  ආයතනයේ  6 වන ශාඛාවයි අද මාතර දී විවෘත වන්නේ. මේ ක‍්‍රම ක‍්‍රමයෙන් සිදු වන්නේ මාතර නගරය අංග සම්පූර්ණ වීමයි. නගරයක් සම්පූර්ණ වීමට නම් NIBM ආයතනයේ ශාඛාවක්  තිබිය යුතු බවට මෑත කාලීනව මතයක් ගොඩනැගී තිබෙනවා. මේ සඳහා රුහුණු සේවයට යාබද ඉඩමක ස්ථිර ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ද සැලසුම් කර තිබෙනවා". 
     
    "ජනාධිපතිතුමා ආසියාවේ දිදුලන රාජ්‍යයක් ලෙස ශී‍්‍ර ලාංකේය රාජ්‍ය ගොඩනගන ලෙසට ඉලක්කයක් ලබා දී තිබෙනවා. මෙම ඉලක්කය සපුරා ගැනීමේදී NIBM ආයතනයේ ව්‍යාප්තිය අතිශය වැදගත්. ව්‍යාපාර කළමනාකරණය, තොරතුරු තාක්ෂණය රටට දායාද කිරීමයි, මෙම ආයතනයේ ප‍්‍රධානතම වගකීම වෙන්නේ. ගාල්ලට කොළඹට ගිහින් ලබා ගත් අධ්‍යාපනය අද මාතර දරුවන්ට, මාතරදීම ලබා ගැනීමට පුළුවන්. අපි අද ජීවත් වෙන්නේ ලෝකය වේගයෙන්ම වෙනස් වන යුගයකයි. ලෝකය පමණක් නොවෙයි, මානවයාගේ සිතුම් පැතුම්, මෙන්ම තාක්ෂණය ද නොසිතූ විදියට වෙනස් වෙලා".
     
    "මේ ලෝකය වෙනස් වීමේ වේගයට අධ්‍යාපනය, ආකල්ප වෙනස් කරන්නේ කොහොමද කියන අභියෝගය අපි හමුවේ තිබෙනවා. නගර වැසියා සංකල්පය අද වෙනස් වෙලා. ඒ වෙනුවට ජාල වැසියා යන සංකල්පය එකතු වෙලා තිබෙනවා. මෙය ශබ්දකෝෂයට අලුතින් එකතු වූ වචනයක්. මෙය අපේ රටේ  දරුවන්ගේ අනාගතයට ගැලපෙන පරිදි වෙනස් කිරීමයි, අත්‍යවශ්‍ය වන්නේ. බෙදුම්වාදී ත‍්‍රස්තවාදයෙන් පස්සේ රාජ්‍යයක් ලෙස අපි මෙම අභියෝගයට අනිවාර්යෙන්ම මුහුණ දිය යුතුයි". 
     
    "ඉතිහාසයේ සිට ම අපේ රටේ ආර්ථිකය, දේශපාලන සංස්කෘතිය ගොඩනැගුණේ කලා විෂය ධාරාව ඉලක්කකර ගෙනයි. විශ්වවිද්‍යාලයට යන දරුවන්ගේ 15,000ක් කලා විෂය ධාරාව මුලික කරගෙන උසස් අධ්‍යාපනය ලබනවා. අපේ රටේ ආණ්ඩු මේ කලා විෂයේ අතිරික්තයට විවිධ යෝජනා  ඉදිරිපත් කලත් කිසිවක් ප‍්‍රායෝගික වුණේ නැහැ". 
     
    රටේ අධ්‍යාපනය නූතන රාජ්‍යයකට ගැළපෙන ආකාරයට වෙනස් වී ඇති බවත් චීනයේ ජනාධිපතිතුමා අතින් විවෘත වන නොරොච්චෝලේ විදුලි බලාගාරයේ 3 වන අදියරින් පසුව එයින් මෙගා වොට් 900ක් ජාතික විදුලි බල පද්ධතියට එකතු වන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා රටේ විදුලි අර්බුදයට පිළියම් වශයෙන් ඔරලෝසුවේ වෙලාව වෙනස් කළ යුගයකුත් තිබුණු බවත් පෙන්වා දුන්නේය. 
     
    තැපැල් නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය, NIBM ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඊ.ඒ. වීරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya