ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ජීවනෝපාය සංවර්ධනයට සෑම ආසනයකට ම රුපියල් දස ලක්ෂ 20ක්

    සැප්තැම්බර් 07, 2014
    දොරින් දොරට ගමින් ගමට ආර්ථික සංවර්ධන සඳහා වූ ජාතික සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන යටතේ දිවි නැගුම ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා සෑම මැතිවරණ කොට්ඨාසයකටම ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් රුපියල් දස ලක්ෂ 20ක් බැගින් වෙන් කර තිබේ.
     
    දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගෘහ ආර්ථික වැඩපිළිවෙළ යටතේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් පුහුණු කිරීමේ වැඩමුළු මාලාවේ සමාරම්භක උත්සවය දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ කලාප අංක 5 මෙහෙයවීම යටතේ වව්නියාව දිස්ත්‍රික්කයේ කනගරායන්කුලම් දිවි නැගුම පුහුණු මධ්‍යස්ථානයේ දී දෙ දිනක් පුරා වව්නියාව දිසාපති බන්දුල හරිස්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා පැවැත්විණි.
     
    දිවි නැගුම ප්‍රතිලාභීන්ගේ ආදායම් උත්පාදනය අභිමුඛ ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාත්මක කිරීම සම්බන්ධව ඔවුන්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප සංවර්ධනය කිරීම අරමුණින් සංවිධානය කර ඇති මෙම වැඩමුළු මගින් ප්‍රතිලාභීන්ගේ මූලික තාක්ෂණ දැනුම ලබාදීම, ස්වයං රැකියා නිෂ්පාදන වෙළෙඳපොළට යොමු කිරීම, ආකල්පමය වෙනසක් ඇති කිරීම සහ ජාතින් අතර සුහදතාවය වර්ධනය කිරීම සිදු කරන බව දිවි නැගුම අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු එස්. කේ. ලියනගේ මහතා පැවසීය.
     
    ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට අයත් රට පුරා පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන 557ක් සහ රජයේ ආයතනවලද සහාය ඇතිව පවත්වන මෙම දිවි නැගුම ජීවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ දිවි නැගුම පවුල්වල දක්ෂතාවය සහ කුසලතාවය අනුව තනි පුද්ගලයන් සහ සමූහයක් වශයෙන් ක්‍රියාත්මක කරන තෝරා ගත් ව්‍යාපෘති සඳහා ආධාර හිමිවේ. තෝරා ගත් ප්‍රතිලාභීන් පුහුණු කිරීම සඳහා පැවැත්වෙන දිවි නැගුම කලාප අංක 5 වැඩමුළුවල තාක්ෂණික දායකත්වය ලබාදෙනුයේ රජරට විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය ඇතුළු විශේෂිත දැනුමක් ඇති ආයතන මගිනි.
     
    ආදායම් උත්පාදනය පිළිබඳ ව දිවි නැගුම ප්‍රතිලාභීන් පුහුණු කිරීමේ දෙ දින වැඩමුළු මාලාවේ සමාරම්භක උත්සවයට දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.ඒ.කේ. රණවක, අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන ඉංජිනේරු එස්.කේ. ලියනගේ සහ අනුරුද්ධ කුමාරසිරි, රජරට විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ආචාර්ය. ඒ. එම්. ජේ. අධිකාරි, දිවි නැගුම නියෝජ්‍ය අධ්‍යක්ෂක ලක්ෂ්මන් බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු ප්‍රතිලාභී විශාල පිරිසක් එක්ව සිටියහ.
     
    දිවි නැගුම ප්‍රථම අදියර 2011 මාර්තු 12වැනිදා ආරම්භ වූ අතර පවුල් ලක්ෂ 50ක් අතර දිවි නැගුම වැඩසටහන කෘෂි, පශු සම්පත්, ධීවර කටයුතු, ගෘහ ආර්ථික කර්මාන්ත වශයෙන් අංශ 4කින් ක්‍රියාත්මක වේ. දිවි නැගුම ජාතික වැඩසටහන දිවයිනේ ග්‍රාම සේවා වසම් 14,022ක පිහිටි ගම්මාන 35,440ක් පුරා ආවරණය වන පරිදි ක්‍රියාත්මක වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya