ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ඩෙල්ෆ්ට් දූප‍තේ සංවර්ධනයට නව ව්‍යාපෘතියක්

    සැප්තැම්බර් 08, 2014


    ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටි අගනා පුරාවිද්‍යාත්මක උරුම ස්ථාන රාශියකින් සමන්විත ඩෙල්ෆ්ට් දූපත දෙස් විදෙස් සංචාරක ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කිරීමේ සංවර්ධන සැලසුම් සකස් කිරීම  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ දිනවල ආරම්භ කර තිබේ.



    රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට අනුව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ උපදේශකත්වයෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ විය. මේ යටතේ ඩෙල්ෆ්ට් දූපත තුළ  හඳුනාගෙන තිබෙන පුරාවිද්‍යා ස්මාරක වන ඕලන්ද බලකොටුව, ඕලන්ද සමයේ පරෙවි කූඩුව, ඕලන්ද අවධියට අයත් ප්‍රදීපාගාරය, එම කාලයේ අශ්ව අභිජනන මධ්‍යස්ථානය, අශ්වගාල සඳහා භාවිත කළ ගොඩනැගිල්ල සහ වාරි සංකීර්ණය, පැරණි හින්දු කෝවිල්, බෞද්ධාගමික නටබුන් සංකීර්ණය, බයෝ බැබ් ගස, කොරල් ගල්වලින් නිර්මිත සීමා ගල් ප්‍රාකාරය සහ දැනට අශ්වයින් සිටින ප්‍රදේශය යන ස්ථාන සංරක්ෂණය කර සංචාරකයින් සඳහා අවශ්‍ය පහසුකම් ද ඇතුළත් සංවර්ධන සැලසුම් සකස් කිරීම සිදුවේ. 


    මේ සඳහා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු කණ්ඩායමක් නිරීක්ෂණ චාරිකාවක ද පසුගියදා යෙදුණු අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රසාද් රණසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරින් කණ්ඩායමක් විසින් ඩෙල්ෆ්ට් දූපතේ සංවර්ධන සැලසුම් සකස් කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන ලදි. 


    මේ වන තුරුත් සුරැකිව පවතින ඩෙල්ෆ්ට් දූපතේ තිබෙන පුරාවිද්‍යා ස්ථාන වඩා හොඳින් සංරක්ෂණය කර මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කර දායාද කිරීමත් දේශීය විදේශීය සංචාරක ආකර්ෂණීය භූමියක් බවට පත් කිරීමත් මෙම ව්‍යාපෘතියේ අරමුණ බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පවසයි.
     
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya