ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ස්වයංරැකියාවෙන් විශාල ආදායමක් ලැබිය හැකියි

    සැප්තැම්බර් 26, 2014

    පසුගිය කාලේ දිගින් දිගට ම ස්වයංරැකියා සඳහා කාන්තාවන් වගේ ම පිරිමිනුත් පුහුණු කරනු ලැබූ බවත් ස්වයංරැකියාවන් රජයේ රැකියාවකට වඩා නිදහසක් තියෙන අතර උනන්දුව හා කැපවීම තිබේ නම් ස්වයංරැකියාවෙන් විශාල ආදායමක් ලැබිය හැකි බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා අලුත්ගම, මොරගල්ල ධීවර ප‍්‍රජා ශාලාවේ පැවති බතික් කර්මාන්තය පිළිබඳ ස්වයංරැකියා වැඩමුළුවේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

     

    ස්වයංරැකියා පුහුණුව ලැබූ කාන්තාවන්ට අමාත්‍යවරයා අතින් මෙහිදී සහතික ද පිරිනමනු ලැබීය. 

     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මෙසේද පැවසීය. "අද ඔබ බතික් කර්මාන්තය ගැන යම් පුහුණුවක් ලබා ගත්තා. පසුගිය කාලෙත් අපි මේ ලෙස කාන්තාවෝ වෙනත් ස්වයංරැකියාවලට පුහුණු කළා. විශේෂයෙන් ම කෑම පිසීම, අතුරුපස පිළියෙල කිරීම, ටින් මාළු සෑදීම වගේ නොයෙකුත් දේවල් ගැන පුහුණුව ලබාදුන්නා. ඔබේ ගෙදර ම ඉඳගෙන අහල පහළ කඩයකට අවශ්‍ය දේවල්, යම්කිසි උත්සවයක් තිබුණොත් ඒවට අවශ්‍ය දේ හදාදීලා කීයක් හරි හම්බ කරගන්න වගේ ම ගෙදර ඉඳලා තමන්ගේ විවේක කාලයේදී අමතර ආදායමක් ලබාගන්නත් ස්වයංරැකියාවෙන් පුළුවනි. එය මෙහි පළවෙනි පරමාර්ථයයි. ජීවන තත්ත්වය ඉහළ නැංවීමත් මේ තුළින් බලාපොරොත්තු වෙනවා.

     

    ඔබ රජයේ රැකියාවක් කළොත් රජය තීරණය කරනවා ඔබේ පඩිය කීයද? දීමනාව කීයද? අතිකාල දීමනා කීයද? කියලා. ඔබ කොතරම් වැඩකළත් එච්චරයි හම්බ වෙන්නේ. නමුත් ස්වයංරැකියාවෙන් තමන්ගේ මහන්සිය හා උනන්දුව තියෙනවා නම් ඕන තරම් මුදල් හම්බ කරන්න පුළුවනි. 2002 වසරේදී එ.ජා.ප. රජයේ ඇමතිවරයෙක් වෙලා ඉන්න කොට ස්වයංරැකියා වැඩපිළිවෙළ මම කළුතර දිස්ත‍්‍රික්කයේ ම ආරම්භ කළා. දැනුත් අපි දිස්ත‍්‍රික්කයේ ම මෙය ක‍්‍රියාත්මක කරනවා. එදා අපේ ස්වයංරැකියා වැඩපිළිවෙළ තුළින් පුහුණුව ලැබූ කාන්තාවන් අද ව්‍යාපාරික කාන්තාවෝ බවට පත්වෙලා. ඔවුන් සමූහයක් විදියට ප‍්‍රජාශාලාවල, පන්සල්වල තමයි මේ ස්වයංරැකියා වැඩපිළිවෙළ ආරම්භ කළේ. ඒවායේ සමූහයක් විදියට මේ වැඩපිළිවෙළ සිදුකළත් ඒ පිළිබඳ ව උනන්දුවක් තියෙන කාන්තාවෝ එම ව්‍යාපෘතිය දිගට ම ගෙන ගියා.

     

    මේ වැඩපිළිවෙළින් යමක් ලබා ගන්න පුළුවනි. ඔබට පුළුවන් ගෙදරදී ම මේවා නිපදවා ගන්න. සුළු ගාණයි වැයවන්නේ. නමුත් වටිනාකම ඉහළයි. ඒ විදියට එක පැත්තකින් විශාල වියදමක් අඩු කරගන්න පුළුවන් වගේ ම ආදායමකුත් ලබාගන්න පුළුවන්. ඉදිරියේදී අපි මෙය කරන්න අවශ්‍ය භාණ්ඩ ටිකත් ලබාදෙනවා. ඔබට අපි වෙළෙඳපොළත් අල්ලලා දෙනවා. දැන් ඔබ ගෘහ කාන්තාවක් විතරක් නෙවෙයි ව්‍යාපාරික කාන්තාවක්" යැයි ද ඔහු කීය. 

    මෙම අවස්ථාවට අමාත්‍ය පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය ද සහභාගි විය.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya