ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    පාසල් නොගිය දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේ ජාතික ව්‍යාපෘතිය ලෝක ළමා දින ඇරඹෙයි

    සැප්තැම්බර් 29, 2014

    ශ්‍රී ලංකාවේ පාසල් නොගිය දරුවන් දෙසැම්බර් 31 වන විට පාසල්වලට ඇතුළත් කිරීමේ ජාතික ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම කොළඹ 07, තර්ස්ටන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී ලෝක ළමා දිනය යෙදී ඇති ඔක්තෝබර් 01 දින සිදුකෙරේ.


    අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න යන මහත්වරුන්ගේ නායකත්වයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.


    සහශ්‍ර සංවර්ධන දර්ශකවල සැමට අධ්‍යාපනය ලබාදීමේදී රටක් විසින් සපුරා ගත යුතු ප්‍රධාන ම අරමුණක් වන්නේ පාසල් යා යුතු වයසේ සිටින සියලු දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමයි. ශ්‍රී ලංකාව දිගු කාලයක් අනුගමනය කළ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් වශයෙන් දකුණු ආසියාතික සාර්ක් කාලාපය තුළ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම ඉහළින් ම වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකාවයි. අප රටෙහි පාසල්වලට සිසුන් ඇතුළත් වීමේ අනුපාතය 98.5%කි. නමුත් 1.5%ක් එනම් 50,000ක් පමණ දරුවන් පිරිසක් පාසල් නොයන අතර මෙවර ලෝක ළමා දිනයේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉලක්කය වන්නේ මෙම වසරේ දෙසැම්බර් 31ට පෙර මෙකී සියලු ම දරුවන්ට පාසල් අධ්‍යාපන අවස්ථාව සලසා දීම බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    එම ජාතික ඉලක්ක සපුරා ගනු වස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතාගේ නායකත්වයෙන් පැවති දිසාපති මහා සමුළුවේදී මේ සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණ ඇත. ඒ අනුව දිසාපති නියෝගයෙන් ප්‍රාදේශීය කාර්යාලය ද ප්‍රාදේශීය ලේකම්ගේ නියෝග මත ග්‍රාමසේවා නිලධාරීඇතුළු ගම් මට්ටමේ නිලධාරීන් විසින් පාසල් නොයන දරුවන් පිළිබඳ තොරතුරු රැස්කොට දෙමාපියන්ට නීතිය පැහැදිලි කර දී පාසලක් සොයා දරුවා පාසල්ගත කිරීමේ කාර්යභාරය ඉටු කළ යුතුය. 

    අධ්‍යාපන අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, පළාත් පාලන අමාත්‍යාංශය යන අමාත්‍යාංශ ඒකාබද්ධව මෙම ජාතික වැඩසටහන සංවිධානය කර ඇත.

    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya