ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    බලයට පත් නොවන ආණ්ඩුවක් පිළිබඳ ව උඩ බලාගෙන සිටීමෙන් පලක් නෑ

    ඔක්තෝබර් 02, 2014

    බලයට පත් නොවන ආණ්ඩුවක් පිළිබඳ ව උඩ බලාගෙන සිටීමෙන් පලක් නොමැති බවත් තිබෙන ආණ්ඩුව සමඟ එකට එකතු වී රටට ජයග්‍රහණයන් අත්පත් කරදීමේ යුතුකම නාගරික ජනතාව ඉදිරියේ පවතින බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.


    ඡන්ද පෙට්ටියේ ඡන්ද ප්‍රමාණය දෙස බලා  සංවර්ධන කටයුතු සිදුකීරීමේ පටු සිතුවිල්ල වත්මන් ආණ්ඩුවට නැතැයි වසර 40කට පසු මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කළ කොළඹ 12, පංචිකාවත්ත "සූරියමල් පුර" මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගී වෙමින් ඔහු පැවසීය. 


    මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා "යුද්ධය පැවති කාලයේ දී යුද්ධය සඳහා මුදල් වෙන් කරනවා වෙනුවට මෙවැනි මහල් නිවාස සංකීර්ණයන් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මුදල් වෙන් කිරීමට නොහැකි වුණා. එදා මහජනතාවගේ හඬට වඩා වැඩිපුර ම ඇහුණේ සහ දැනුණේ බෝම්බ හඬයි, වෙඩි හඬයි. ඒ නිසා ඔබ තමුන්නාන්සේලාගේ මෙවැනි ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට නොහැකි වුණා. යුද්ධය අවසන් කරලා වෙඩි හඬයි, බෝම්බ හඬයි නිහඬ කළාට පසු අපිට පුළුවන් වුණා, ඔබ තමුන්නාන්සේලාගේ හඬට ඇහුම්කන් දීලා ඒ සඳහා ප්‍රතිචාර දක්වන්න. ඒ අනුව තමයි මේ මහල් නිවාස සංකීර්ණයත් ප්‍රතිසංස්කරණය කිරීමට අපට හැකියාව ලැබුණේ.

    ඒ අනුව පැහැදිලි වෙනවා යුද්ධය පැවති කාලයේ දී ඒ ගැන අවධානය යොමු කරනවා වෙනුවට මෙවැනි ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ ව අවධානය යොමු කිරීමට අපහසු වූ බව. දැන් යුද්ධයේ සද්දේ ඉවරයි. පිටකොටුවේ බෝ ගහ වටේ ඇහුණු බෝම්බ සද්දෙ ඉවරයි. යුද්දේ සද්දෙ තියන කොට මෙවැනි මහල් නිවාස සංකීර්ණයක් ප්‍රතිසංස්කරණය කරලා දෙන්න කියන ඔබගේ ඉල්ලීම ඇහුණේ නැහැ. යුද්දෙ සද්දේ ඉවර කරපු නිසා දැන් මහජනතාවගේ අහිංසක ඉල්ලීම්  අපට ඇහෙනවා. මහජනතාවගේ පොදු අවශ්‍යතා මොනවද? කියලා දැනෙනවා. ඔබගේ හඬ බලවත් හඬක් ලෙස නැඟෙනවා. ඒ හඬට සවන් දීලා මේ මහල් නිවාස සංකීර්ණයේ ප්‍රතිසංස්කරණය කරලා දෙන්න අපට පුළුවන් වෙලා තියෙනවා. ඒ මඟින් අභිමානවත් ව ජීවත් විය හැකි පරිසරයක් ඔබ තමුන්නාන්සේලා ඉදිරියේ මේ වෙන කොට ගොඩනැගෙමින් පවතිනවා. 


    ඒ වගේ ම අපේ තරුණ දරුවන්ට තමන්ගේ මිත්‍ර සමාජය සමඟ විවෘතවීමට මේ තුළින් අවස්ථාව උදා වෙලා තිබෙන බවත් මතක් කළ යුතුයි. දැන් මේ ජනාවාසවල ජීවත්වන දරුවන්ට සමාජයට මුහුණ දීමේ ආත්ම ශක්තිය ද උදාවෙලා තියෙනවා. ඒ නිසා මෙතන ගොඩනැගිලි ප්‍රතිසංස්කරණයක් මෙන් ම මානසික ප්‍රතිසංස්කරණයක් ද තිබෙන බව ඔබ සියලු දෙනා අවබෝධ කර ගත යුතුයි. පුරුදු පරිසරය වුණාට නුහුරු වෙනසක් මේ ජනාවාසවල ගොඩනැගිලා තියෙනවා. අපි මේ සූරියමල් පුර මහල් නිවාස සංකීර්ණය ප්‍රතිසංස්කරණය කළේ මේ ජනතාව ඡන්දෙ දෙන්නේ කාට ද? කියලා හොයලා බලලා නොවෙයි. මේ ඡන්ද පෙට්ටියෙන් එක්සත් ජාතික පක්ෂයට ඡන්ද කීයක් වැටෙනවා ද? බුලත් කොළයට ඡන්ද කීයද? කියලා අපි සොයා බැලුවේ නැහැ. සාමාන්‍යයෙන් වෙන ආණ්ඩු නම් වැඩ කරන්නේ එහෙම. නමුත් මේ ආණ්ඩුව ඡන්ද පෙට්ටියේ බර බලලා නෙවෙයි සංවර්ධන කටයුතු සිදු කරන්නේ. 

    මෙතන දී අපට තිබුණේ ඔබ සියලු දෙනා ම සිංහල, දෙමළ, මුස්ලිම් ජන වර්ග තුනට ම අයත් මේ පොළොවේ ඉපදෙන, මියයන මිනිස්සු කියන හැඟීම විතරයි.  ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් එනකල් තමුන්නාන්සේලාට උඩ බලාගෙන ඉන්න දෙන්නේ නැතිව, තියන ආණ්ඩුව මඟින් ඔබගේ අවශ්‍යතා සොයා බලා ඒවා ඉටුකර දීමට කටයුතු කරලා තියෙන්නේ. නොඑන ආණ්ඩුවක් දිහා බලාගෙන ඉන්නවාට වඩා තියන ආණ්ඩුවෙන් වැඩ කර ගැනීමයි දැන් කළයුතු වෙන්නේ කියන එක ඔබට පැහැදිලියි. නොඑන ආණ්ඩු දිහා බලාගෙන සිටීමෙන් පලක් නැහැ. දැන් කළ යුතු වෙන්නේ තියෙන පාලනයත් සමඟ අත්වැල් බැඳගෙන ගමට, නගරයට, ඔබේ ප්‍රදේශයට වගේ ම ඔබගේ ජනාවාසයටත් ජයග්‍රහණයන් අත්පත් කර දෙන ගමන යාමයි. ඒ සඳහා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් යනාදී ජාති භේදයකින් තොරව සැවොම ලක් මාතාවගේ දරුවෝ කියන හැඟීමෙන් කටයුතු කිරීමයි මෙතනදී වැදගත් වෙන්නේ. 

    විරුද්ධ පක්ෂයට ලැබෙන ඡන්ද ප්‍රමාණය වැඩි නම්, එතනට වැඩ කෙරෙන්නේ නැහැයි කියන පරණ සිතුවිල්ලෙන් මේ ආණ්ඩුව ඉවත් වෙලා තියනවා. ඒ පරණ ප්‍රතිපත්තිය අපි කඩා ඉවත් කළා. කාටද ඡන්ද වැඩි කියලා හොයන්නේ බලන්නේ නැතිවයි අප මේ සංවර්ධන කටයුතු කරලා තියෙන්නේ. ඒ නිසා තමුන්නාන්සේලාටත් දැන් යුතුකමක් තියනවා පරණ හණමිටි ප්‍රතිපත්තිවලින් ඉවත් වෙලා, නොඑන ආණ්ඩුවක් පිළිබඳ ව උඩ බලාගෙන හූල්ලන්නේ නැති ව තිබෙන ආණ්ඩුවත් සමඟ එකට එකතු වෙලා ගමට, රටට ජයග්‍රහණයන් උදා කරදීමට.

    එදා 1994දී චන්ද්‍රිකා මැතිණිය බලයට එන්න ඉස්සෙල්ලා දකුණු පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කළා. බස්නාහිර පළාත් සභාවත් ජයග්‍රහණය කළා. ඒ විදියට පළාත් සභා දිනලා තමයි විරුද්ධ පක්ෂයක් බලයට එනවාද? නැද්ද? කියන මඟ සලකුණු පෙන්නුවේ. එහෙම තමයි බල පෙරළියට කොළ එළි නිකුත් වුණේ. පළාත් සභා දෙක තුනක් පෙරළලා තමයි අවුරුදු 17ක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව එදා පෙරළා දැමීමේ වැඩ කටයුත්ත ආරම්භ වුණේ. එතකොටයි ඒ අයගේ නාඩි වැටෙන්න පටන් ගත්තේ. දැන් පළාත් සභා 9කින් 8ක ම බලය හිමිවෙලා තියෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට කියලා ඔබ සියලු දෙනා දන්නවා. අද උතුරු පළාත් සභාවේ විග්නේෂ්වරන් මහත්තයලා පිරබාහරන්ගේ පරණ සංකල්පයන් කොට්ට යට තියා ගෙන හොඳට නිදාගෙන ඉන්නවා. මේ උතුරු පළාත ඇරෙන්න අනිත් සියලු ම පළාත් සභා ජයග්‍රහණය කරලා තියෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවයි. පැවති පළාත් සභා මැතිවරණ 09දී එක්සත් ජාතික පක්ෂයයි, ජනතා විමුක්ති පෙරමුණයි, ෆොන්සේකා මහත්තයයි, දෙමළ ජාතික සන්ධානයයි ලබා ගත් ඡන්ද සියල්ල ම එකට එකතු කරලා බැලුවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට විතරක් ඡන්ද ලක්ෂ 10කට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් තියෙනවා. එහෙම වුණත් කොහේවත් පළාත් සභාවක් ජයග්‍රහණය කරලා නැති එක්සත් ජාතික පක්ෂය අද කියනවා ඒ අය ජයග්‍රහණය කළා කියලා. එදා තිබුණු විපක්ෂය නම් පළාත් සභාවක් දිනලා තමයි බල පෙරළිය ආරම්භ කළේ. මැතිවරණ 29ක් පරාජයට පත් වෙලා සිටින වික්‍රමසිංහ මහත්තයා මීළඟ ජනාධිපතිවරණයෙන් ලබා ගන්නේ 30 වෙනි වාර්තාගත පරාජයයි. මේ නිසා නොඑන ආණ්ඩුවක් සමග ඉදිරි ගමනක් තමුන්නාන්සේලාට නැහැ. තිබෙන පාලනය හා නායකත්වය සමග ජයග්‍රාහීව ඉදිරියට යාමයි ඔබ සැමගේ යුතුකම වන්නේ" යනුවෙන් ද විමල් වීරවංශ අමාත්‍යවරයා පැවසීය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya