ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ජනාධිපතිතුමාට ජනාධිපතිවරණයට ඉල්ලන්න බැහැ කියනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නේ නැත්තේ ඇයි

    ඔක්තෝබර් 04, 2014

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට 3 වැනි වරට ජනාධිපතිවරණයට ඉල්ලන්න බැහැ, නීතිවිරෝධී යැයි කියනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නේ නැතිව තැන් තැන්වල සම්මන්ත්‍රණ, දේශන තියන්නේ මන්දැයි ඉදිකිරීම් ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රශ්න කරයි.

     

    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ වසර 40කට පසු රුපියල් මිලියන 24ක වියදමින් පූර්ණ ප්‍රතිසංස්කරණය කරන ලද කොළඹ 12, මරදාන, සාංචිආරච්චි වත්ත මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් අද (04) පැවති උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා "ළඟ ජනාධිපතිවරණයක් එනවා කියලා සමහරු දැනට ම බය වෙලා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට 3 වන වරට ජනාධිපතිවරණයට ඉල්ලන්න බැහැලු. ඉල්ලුවොත් නීතිවිරෝධීලු. ඇයි මේ නීති තර්ක දාලා ඉල්ලන්න බැහැ කිය කියා යන්නේ. ඉල්ලන්න බැහැ කියලා නීති තර්කයක් තියෙනවා නම් යන්න ශ්‍රේෂ්ඨාධිකරණයට, අර්ථකථනයන් ඉල්ලන්න. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහන්න. ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නේ නැති ව පාරේ රැස්වීම් තියන්නේ ඇයි? මේ රටේ තැන් තැන්වල සම්මන්ත්‍රණ, දේශන තියලා බැහැ කිය කියා යන්නේ ඒ අය දන්නවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, ජනාධිපතිවරණයට ආවොත් තුන් වැනි වතාවත් පහසුවෙන් ම දිනනවා කියලා. ඒ බව දන්න නිසා නීති තර්කයන් දාලා බැහැ කියලා කියනවා.

    චන්ද්‍රිකා නෝනා පොදු අපේක්ෂිකාව වෙලා ජනාධිපතිවරණයට එන්න හිතාගෙන හිටියා කියලා අපි හිතමු. චන්ද්‍රිකා නෝනා පොදු අපේක්ෂිකාවක් හැටියට එනවා නම් ඒක පුළුවන්. එතකොට නීති ප්‍රශ්න නැහැ. දිනන්න පුළුවන් නම් නීතියෙන් බැරි වුණත් කමක් නැහැ එන්නකෝ තරග කරලා අපි පරද්දන්න ලෑස්තියි කියලනේ හරි නම් මේ අය කියන්න ඕන. කෝ එහෙම කියනවද?. නැහැ. ඉල්ලන්න බැහැ කියලා කියනවා. මේ අය බලන්නේ මහින්ද ජනාධිපතිතුමා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළා ම බටහිර රටවල්වලින් නිවේදන නිකුත් කරවන්න. 

    මේ ජයග්‍රහණය අපි පිළිගන්නේ නැහැ, රටේ නීතියට අනුව තුන් වැනි වතාවට ඉල්ලන්න බැහැ, ඒ නිසා මෙය නීත්‍යනුකූල ජනාධිපතිවරණයක් නෙවෙයි කියලා බටහිර රටවලිනුත් කියවන්න. මෙහෙ ඉන්න කට්ටියත් ඒක ම කිය කියා පාරට ජනතාව ගෙනල්ලා රට අස්ථාවර කිරීමේ වුවමනාවෙන් මේ නීති තර්ක හද හදා යන්නේ. මෙතන ඇති නීති තර්කයක් නැහැ. නීති තර්කයක් වගේ පෙනෙන බටහිරට අවශ්‍ය තර්කයක් මේ හදාගෙන යන්නේ. ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දිනන බව හොඳට ම දන්න නිසා දින්නට පස්සේ දිනුම වලංගු නැහැ කියන කතාව මේ අයට හදාගන්න ඕන. 

    මහින්දට බැහැ කියලා ඒ තියරිය, න්‍යාය මේ හදාගෙන යන්නේ. දැන් බලන්න පරදින රනිල් වික්‍රමසිංහ මහතාට තුන් වතාවක් නොවෙයි සිය වතාවක් වුණත් ඉල්ලන්න පුළුවන්. කවුරුත් කියන්නේ නැහැ රනිල්ට බැහැ කියලා" යනුවෙන්ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය. 

    මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන ජන සෙවණ නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට සමගාමී ව ක්‍රියාවට නැංවෙන “නගමු පුරවර”  පැරණි මහල් නිවාස ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ මෙම මහල් නිවාස සංකීර්ණය පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක් කෙරිණ.

    නිවාස 244කින් සමන්විත සාංචිආරච්චිවත්ත මහල් නිවාස ව්‍යාපෘතියේ වහළ අලුත්වැඩියා කිරීම, වැහිපීලි අලුත්වැඩියා කිරීම, ජල පොම්පාගාර අලුත්වැඩියාව, මළපවාහන පද්ධති  අලුත්වැඩියාව, අපජල කානු පද්ධති අලුත්වැඩියාව, අබලන් වූ බිත්ති ප්‍රතිසංස්කරණය, ගොඩනැගිලි වර්ණ ආලේප කිරීම සහ සියලු යටිතල පහසුකම් අලුත්වැඩියා කර තිබේ.

    මෙම අවස්ථාවට කොළඹ නාගරික මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා , නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් පී. එච්.එල්. විමලසිරි පෙරේරා, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති නීතිඥ කපිල ගමගේ, එහි සාමාන්‍යාධිකාරී ජී.යූ. උපවංශ,  විමල් වීරවංශ අමාත්‍යවරයාගේ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම් චානක සුමිත් කුමාර යන මහත්වරු, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයෝ, ප්‍රදේශවාසීහු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

    NDH

    NMD 3197

     

     

    NMD 3012

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya