සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපනයෙන් පසු තාක්ෂණ විෂ්‍ය ධාරාව හඳුන්වා දෙමින් අධ්‍යාපනය තුළ විශාල පෙරළියක් සිදු කළ නායකයා ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
අලව්ව රාහුල මධ්‍ය මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සහ එම පාසල් භූමියේ පැවැත්වෙන අලව්පුර නවෝදය 2014 අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පැවසීය.
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ සංවිධානය කර තිබු මෙම උත්සවයේදී අලව්ව ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් ඩිපෝව සඳහා බස් රථ 15ක් ප්‍රදානය කිරීම ද අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
මෙහිදි අදහස් දැක්වු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ජාති, ආගම්, කුල, ප්‍රදේශ බේදයකින් තොර ව පැවැති ත්‍රස්තවාදි උවදුර දුරුකර සෑම දෙනාට ම එක හා සමාන ව, සාමය සමගිය උදාකර දී උසස් ජීවන තත්ත්වයක් ඇති කිරීමටත්, සෑම ප්‍රදේශයක ම සංවර්ධනය ඇති කිරීමටත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පියවර ගත් බවය.
පැවැති යුධ සමයේ ආපස්සට ගිය අධ්‍යාපනය හේතුවෙන් දරුවන් ලොව අන් දරුවන් සමඟ තරග කිරීමට හැකි තාක්ෂණ දැනුම පදනම් කරගත් අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීමට එතුමා විසින් පියවර ගත් බවත් පැවසු අමාත්‍යවරයා පෙන්වා දුන්නේ රබර් ගොවියා රබර් කන්ටේනර්යක් රට යවා ගන්නා මුදලට වැඩි මුදලක් තාක්ෂණ දැනුම අතින් දියුණු රටවල් රබර් යොදා කරන නිෂ්පාදනවලින් අතේ ගෙන යා හැකි බෑග් එකක් තරම් ප්‍රමාණයකින් ලබා ගන්නා බවය.
එදා විවිධ ද්‍රව්‍ය අමු ද්‍රව්‍ය ලෙස පිටරට යැවුව ද අද රටවල් තාක්ෂණික දැනුම කේන්ද්‍රීය කර්මාන්ත තුළින් නිෂ්පාදන ලෙස යවා වැඩි ලාභයක් ලබන බවත් පැවසු අමාත්‍යවරයා තාක්ෂණ විෂය හඳුන්වා දී ම මගින් අපේ දරුවන්ට ද අනෙකුත් රටවල දරුවන් මෙන් තාක්ෂණ දැනුම අතින් ඉහළට යා හැකි බවත් මෙලෙස අධ්‍යාපනයේ මෙන් ම රටේ සෑම අංශයකට ම සංවර්ධනය ළඟා කළ හැකි එක ම නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඇතැම් පුද්ගලයන් සිදුවන සංවර්ධන ක්‍රියාවන් දැක විදෙස් බලපෑම්වල අවශ්‍යතාවට ඇති වී තිබෙන සංවර්ධනයට විරුද්ධ ව විවිධ ප්‍රචාර ගෙන යන බව පෙන්වා දුන් අමාත්‍යවරයා සඳහන් කළේ සියලු අභියෝග ජයගෙන රට ඉදිරියට ගෙන යා හැකි එක ම නායකයා ජනාධිපතිතුමා බවය.
මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, වයඹ පළාත් සභා මන්ත්‍රීවරුන් වන ටිකිරි අධිකාරි, සුමිත් කුමාර, රෝහණ බස්නායක, අලව්ව ප්‍රාදේශීය සහා සභාපතිතුමා ප්‍රමුඛ මහජන නියෝජිතවරු ඇතුළු විශාල පිරිසක් එක් ව සිටියහ.
DB