ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මන්දපෝෂණය දුරුකිරීමේ ඉලක්කය ජයගන්න ධීවර සංස්ථාව සුදානම්

    ඔක්තෝබර් 17, 2014

    මෙරටින් මන්දපෝෂණය දුරුකිරීමේ ඉලක්කය ජයගන්න ලංකා ධීවර සංස්ථාව සූදානම් බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා කළුතර දිස්ත‍්‍රික්කයේ, හොරණ නගරයේදී ලංකා ධීවර සංස්ථාවේ 143 වැනි අලෙවිසැල විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය. "මාළු හොඳ ප්‍රෝටීනයක්. ලංකාවේ මන්දපෝෂණය ගැන වාර්තා අධ්‍යයනය කළ විට මේ රටේ මන්දපෝෂණය දුරුකරන්න මාළු පාරිභෝජනය වැඩිකරන්න අවශ්‍යයි. එවිට අවශ්‍ය ප්‍රෝටීන් නිසි ප‍්‍රමාණය ලැබෙනවා. ඒ අනුව අපේ ඉලක්කය 2016 වන විට මේ රටින් මන්දපෝෂණය දුරු කරන්නයි. මේ සඳහා ගෙවීගිය වසර 4 තුළ වැඩපිළිවෙළක් යෙදුවා. ඒ අනුව ජනතාවට පහසු මිලට මාළු ගන්න ධීවර සංස්ථා අලෙවිසැල් රට පුරා ම ඇති කළා. 

    ධීවර සංස්ථාවට අවුරුදු 50යි. 1965දී කැබිනට් මණ්ඩලයේ මේ රටේ මාක්ස්වාදයේ පියා පිලිප් ගුණවර්ධන; එදා හිටපු කෘෂිකර්ම ඇමති. එතුමාගේ ප‍්‍රතිපත්තිය තමයි ධීවර සංස්ථාවක් ඇති කිරීම. එදා ධීවරයා, වැල්ලේ ධීවර මුදලාලිගේ ග‍්‍රහණයේ හිටියේ. එයාගෙන් ණය ටික අරගෙන, එයාට මාළු ටික දීලා ධීවරයාගේ මුළු ජීවිතේ ම ගැටගැහිලා තිබුණේ. එදා හිටපු මාළු මුදලාලිලා එ.ජා.ප.යේ අය. ඒ අය තමයි මාළු ව්‍යාපාරය කොළඹ තිබුණ ශාන්ත ජෝන් මාළු වෙළෙඳසැලට දාගෙන මුළු මාළු ව්‍යාපාරය ම තොග ගාණට වැල්ලෙන් අරගෙන ව්‍යාපාර කළේ. ඒ අයයි ලංකාවේ මාළු මිල තීන්දු කළේ. එදා ජනතා පත්තරේ තිබුණා ජෝන් මුදලාලි කඳුළු සලමින් අගමැතිතුමාට කිව්වා ධීවර සංස්ථාව හදන්න එපා කියලා. නමුත් ඩඩ්ලි මොන පැත්තේ හිටියත් ප‍්‍රතිපත්ති ගරුක දේශපාලඥයෙක්. පිලිප්ගේ ප‍්‍රතිපත්තිය මේ ධීවර සංස්ථාව පිහිටුවීම. ඒ නිසා පිලිප් කරන දේ මට නවත්වන්න බැහැ. පිලිප් කරන්න ඕන දේට මම එකඟ වෙනවා. ඔහු නිසා තමයි ආණ්ඩුවක් පිහිටුවා ගත්තේ කියලා. එහෙමයි මේ ධීවර සංස්ථාව පිලිප් ගුණවර්ධන හැදුවේ.  

    පළවෙනි වරට මත්ස්‍ය අස්වැන්න මෙට්රික් ටොන් මිලියන භාගයක් පැන්නුවා. දැවැන්ත යාත‍්‍රා ගෙනල්ලා ජාත්‍යන්තර මුහුද තරණය කළේ මත්ස්‍ය නිෂ්පාදනය වැඩිකරන්නයි. එයට පාවිච්චි කරපු හස්තය මේ ධීවර සංස්ථාවයි. මේ වෙද්දී අලෙවිසැල් 143ක් හදලා තියෙනවා. අවුරුදු 50 වැනි සංවත්සරයට 142 වැනි අලෙවිසැල හැදුවේ යාපනය නගරයේ. මේ මඟින් තමයි මාළු මිල පාලනය කර ගත්තේ. 2012-2014 සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට ගිහින් බැලුවොත් දැනට එක ආහාරයයි මිල වෙනස් නොවුණේ. ඒ මාළු විතරයි. මාළු මිල පාලනය කළේ ලංකා ධීවර සංස්ථාවට පිං සිදුවෙන්නයි. මෙය බිස්නස් එකක් නෙවෙයි" යැයි පැවසීය.

    මෙහිදී අමාත්‍යවරයා අතින් හොරණ ධීවර සංස්ථා මත්ස්‍ය අලෙවිසැල විවෘත කෙරුණි. මෙම අලෙවිසැල ඉදිකිරීම සඳහා ලංකා ධීවර සංස්ථාව රුපියල් ලක්ෂ 15ක් වැය කරනු ලැබීය. 2010දී ධීවර අලෙවිසැල් 48ක් ව පැවති ධීවර සංස්ථා මත්ස්‍ය අලෙවිසැල් ජාලය මේ වන විට 143 දක්වා රටපුරා ව්‍යාප්ත කර තිබේ. වර්ෂ 2016 වන විට සංස්ථා අලෙවිසැල් ජාලය 250 දක්වා ව්‍යාප්ත කරලීමට අපේක්ෂා කෙරේ.


    මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී යසපාල කෝරළගේ, හොරණ ප‍්‍රාදේශීය සභාවේ සභාපති යාමින් චන්දන හතුරුසිංහ, ලංකා ධීවර සංස්ථාවේ සභාපති මහිල් සේනාරත්න, කළමනාකාර අධ්‍යක්ෂ රුවන් ලංකේෂ්වර මහත්වරු ද සහභාගී වූහ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya