ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    රූකඩ පාලකයෙක් බිහිකිරීමේ බෙදුම්වාදීන්ගේ සැලසුමට සහය දීමට කිසිම ජාතිකවාදී බලවේගයකට අයිතියක් නෑ

    ඔක්තෝබර් 27, 2014
    රුද්‍රකුමාරන්ලාට, එමැනුවෙල් පියතුමාලාට අවශ්‍ය මේ රටේ රෑකඩ පාලනයක් ඇතිකර රට නැවත දෙකඩ කිරීමට බවත් එම දේශ ද්‍රෝහී බලවේගවලට උඩගෙඩි දෙන්න කවර හෝ ජාතිකවාදී බලවේග තීරණ ගන්නවා නම් ඒ තරම් දේශපාලන පාවාදීමක් මේ රටේ තවත් නොමැති බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
     
    නිවාස 52කින් සමන්විත අනුරාධපුර, පලාගල, විජයගම ජනසෙවණ විරු ගම්මානය ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් අද (26) දින පැවති උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
     
    2007 වර්ෂයේ ජනවාරි 17 වන දින ශ්‍රී ලංකා යුධ හමුදාවට බැඳී වර්ෂ 2009 ජනවාරි 25 වන දින ඕලුමඩු ප්‍රදේශයේදී ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී ත්‍රස්තවාදී ප්‍රහාරයකින් මිය ගිය “ දිනේෂ් විජේන්ද්‍ර ගුණරත්න”රණවිරුවාණන් නමින් මෙම විරු ගම්මානය නම් කොට ඇත්තේ “ විජයගම” යනුවෙනි.
     
    මෙම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා මෙසේ පැවසීය.
     
    “උතුරේ ඡන්ද ලක්ෂ 4ක් තියාගෙන  මැතිවරණ ක්‍රමය කේවල් කිරීමට දෙමළ ජාතික සංධානය අද උත්සාහ  කරනවා. ජාත්‍යන්තර අභියෝග මැද රට ඉදිරියට යනවිට කවුරු හරි දේශපාලන බියගුල්ලෙක් ජනාධිපති පුටුවේ වාඩි කරවලා රට අස්ථාවර කර නැවත රට ආපස්සට අදින්න ඒ අයට අවශ්‍යයි.  ජාතිකවාදී බලවේග නියෝජනය කරන හෝ නොකරන කවුරුන් හෝ එම දේශද්‍රෝහී කුප්ප ක්‍රියාදාමයට සහයෝගය දෙන, අන්තර් ජාතික බලවේගවලට හා දෙමළ ඩයස්පෝරාවේ අවශ්‍යතාවන් ඉටුකරන්න උඩගෙඩි දෙන තීරණ ගන්නවා නම් ඒ තරම් දේශපාලන පාවාදීමක් මේ රටට වෙන නැහැ. වත්මන් ජනාධිපතිතුමා හා ආරක්ෂක ලේකම්තුමා කෙසේ හෝ ඉවත්කර මේ රට අරාජික කර යළි ඊළාම් සිහිනය සැබෑකරගන්න දෙමළ ඩයස්පෝරාව ඇතුළු කොටි හිතවාදීන්ට අවශ්‍යයි. ඒ සඳහා උතුරේ ඡන්ද ලක්ෂ 4 කේවල් කර රූකඩ පාලකයෙක් ගෙන එන්න ඔවුන්ට අවශ්‍යයි. එම රූකඩ පාලකයාට වාසි ලැබෙන ආකාරයෙන් කටයුතු කිරීමට ජාතිකවාදී බලවේග නියෝජනය කරන කිසිවෙකුට සදාචාරාත්මක අයිතියක් නැහැ.
     
    වත්මන් රජය බලයට පත්වීමෙන් පසු පළමු වසර 5 රට කුරිරු ත්‍රස්තවාදයෙන් බේරා ගැනීමට කටයුතු කළා. ඊළඟ ජනවරමෙන් පාලනය කළ වසර  4 රටේ සියලු යටිතල පහසුකම් සංවර්ධනය කර රට වේගවත් සංවර්ධනයක් කරා ගෙන ගියා. මෙවර අයවැය මගින් ග්‍රාමීය ජනතාවට ආදායම් හිමිවන, නිෂ්පාදන කර්මාන්ත සංවර්ධනය කර, ජනතාවගේ අදායම් වර්ධනය කරමින් දැවැන්ත සංවර්ධන පිම්මක් ඇති කරන්න අතිගරු ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙනවා.
     
    අයවැයෙන් පොදු ජනතාවට ප්‍රතිලාභ රැසක් ලබාදීම නිසා ජනතාව සතුටට පත්වන විට විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මුහුණු, ගමේ භාෂාවෙන් කියනවා නම් කුණ්ඩහට්ටි වෙලා වගේ. මම කලින් හිටපු පක්ෂයේ සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කරලා තියෙනවා මෙවර අයවැයෙන් ජනතාවට අල්ලසක් දුන්නා කියලා. නමුත් එයාගේ නෝනා කිව්වලු අයවැයට විරුද්ධ ව මුකුත් කියන්න එපා කියලා. සුනිල් හඳුන්නෙත්ති මහතා කියන විදිහට එයාගේ නෝනා අල්ලස් අරගෙන. අයවැයට එරෙහි ව කටමැත දොඩවන විපක්ෂයේ මහතුන්ගේ පිටුපස නෝනලා ඉලපත අරගෙන එනවලු අයවැයට විරුද්ධ ව කට අරින්න එපා කියලා. කට වහගෙන ඉන්න කියලා. හඳුන්නෙත්ති මහතාගේ නෝනා දේශපාලනය නොකරන නිසා එයා සාමාන්‍ය රටවැසියෙක්. එයාට තේරෙනවා මේ අයවැය හොඳයි කියලා. නමුත් විරුද්ධ පක්ෂයේ දේශපාලනය කරන අසාමාන්‍ය අයට මේ අයවැය ඉතා නරකයි.“  යනුවෙන්ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන “ජනසෙවණ”ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට සමගාමීව ක්‍රියාවට නැංවෙන “ විරු ගම්මාන ” වැඩසටහන යටතේ මෙම නිවාස ගම්මානය ඉදිකර තිබේ.
     
    සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, උතුරුමැද පළාත්සභා මන්ත්‍රීවරුන් වන ගමගේ වීරසේන, පී.බී. කුමාර, උපාලි විජේකෝන් , පලාගල ප්‍රාදේශීය සභා උප සභාපති අනුර ගමගේ, එහි මන්ත්‍රී නිමල් බන්දු, ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් පී.එච්. එල්. විමලසිරි පෙරේරා, පලාගල ප්‍රාදේශීය ලේකම් කේ.ජී.එස්.පී. කළුආරච්චි, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී බ්‍රිගේඩියර් මහින්ද මුදලිගේ යන මහත්වරු, නිලධාරීහු නිවාසවාසීහු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
     
    මෙම ජන සෙවණ විරු ගම්මානයන්හි ඉදිකර ඇති නිවාස සංඛ්‍යාව 52කි. ඒ සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් වැයකරනු ලැබූ මුදල රුපියල් මිලියන 16.305කි. නිවාස ඉදිකිරීමට අමතරව මෙම නිවාස ව්‍යාපෘතියේ අභ්‍යන්තර මාර්ග සංවර්ධනය,  විදුලිය ලබාදීම සිදුකර ඇති අතර පොදු ළිඳක්  හා පොදු නළ ළිඳක් ද සකස්කොට දී තිබේ. ඊට අමතරව නිවාස ව්‍යාපෘතිය වටා ආරක්ෂිත අලි වැටක් ද ඉදිකර ඇත.
     
    පලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මේ නිවාස ව්‍යාපෘතිය  ඉදිකිරීම සඳහා අක්කර 11ක ඉඩමක් ලබාදී ඇති අතර එක් නිවාස ප්‍රතිලාභියකු සඳහා පර්චස් 30ක බිම් කොටසක් නොමිලේ ලබාදී ඇත.
     
    DB
     
    MP WW PALAGALAOPENNING 1
     
     
    MP WW PALAGALAOPENNING 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya