ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    2012 සිට අද වන තුරු මාළු මිල ස්ථාවරයි

    ඔක්තෝබර් 28, 2014

    තමා අමාත්‍ය ධූරය භාරගන්නා විට මාළු මිල විශාල අභියෝගයක් වුණ බවත් මේ සඳහා ගන්නා ලද ක‍්‍රියාමාර්ග නිසා 2012 සිට 2014 වන තුරු මාළු මිල ස්ථාවර ව පවත්වා ගෙන යන බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.


    භාණ්ඩාගාරයේ සංඛ්‍යාලේඛනවලට අනුව මාළු සහ සහල්, මිල ඉහළ නොගිය භාණ්ඩ දෙකයි. දැන් හාල් මිලත් වැඩියි. නමුත් මාළුවලට ස්ථාවර මිලක් තියෙනවා. ඊට හේතුව මත්ස්‍ය නිෂ්පාදනය වැඩි කරමින් ධීවරයාට ලබා දුන් නොයෙකුත් සහන යැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා අනුරාධපුර, කලාවැව ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ පුහුණු ආයතනයේ පැවති ජලජීවී වගා ස්වයංරැකියා වැඩමුළුවේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ අනුග‍්‍රහයෙන් ධීවර ක්ෂේත‍්‍රයේ ස්වයංරැකියා පුහුණුව ලබාදීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළ යටතේ කළුතර දිස්ත‍්‍රික්කයේ පානදුර, බණ්ඩාරගම, කළුතර, අගලවත්ත, මතුගම හා බේරුවල ප‍්‍රදේශවල 125 දෙනෙකුට පමණ ස්වයංරැකියා පුහුණුව ලබා දෙනු ලැබීය. මේ යටතේ කරවල වියලනය, ජාඩි කර්මාන්තය, විසිතුරු මත්ස්‍ය වගාව, මෝදා මත්ස්‍ය වගාව, යෝගට් කර්මාන්තය ආශ‍්‍රිතව පුහුණුව ලබා දුන්නේය. මෙම පුහුණුව ලැබූ පිරිසට ප‍්‍රායෝගික පුහුණුව ලබාදීම කලාවැව දී සිදු කෙරුණි. මෙම දෙදින පුහුණු වැඩසටහනට සහභාගී වූ පිරිසට අමාත්‍යවරයා අතින් සහතිකපත් ලබාදෙනු ලැබීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතාකළ අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මෙසේද පැවසීය.  "මේ වැඩසටහන ලංකාවේ නොයෙකුත් පළාත්වලින් ස්වයංරැකියාලාභින් ගෙනල්ලා ඒ අයව ආර්ථික වශයෙන් ශක්තිමත් කරන වැඩසටහනක්. කළුතර දිස්ත‍්‍රික්කයේ මේ වෙනකොට විශාල ආයතන ගණනාවක් මෙතන ඉන්නවා. මේ වගේ කලාවැවට ඇවිල්ලා ජලජීවී වගාව ගැන ප‍්‍රායෝගිකව පුහුණුව ලැබීම ඉතාම වැදගත් වෙනවා. එය ඔබගේ ස්වයංරැකියාවේ ගුණාත්මක භාවය වැඩි කරන්නත් හේතුවෙනවා.

    මේ නිසා අපේ ආදායම, නිෂ්පාදන, අපනයනය වැඩිවෙලා තියෙනවා. ධීවර කර්මාන්තය ගොඩනගමින් මාළු අපනයනය 39%කින් වැඩි කළා. නිෂ්පාදනයත් වැඩි කළා. එම ගොඩනැගීම තුළ ධීවර යාත‍්‍රා 40,000 සිට 63,000 දක්වා වැඩි වුණා. ධීවරයෝ 170,000 සිට 221,000 දක්වා වර්ධනය වුණා. උතුර වෙන ම සංවර්ධනය කළා. 4%ක තිබුණු උතුරේ මත්ස්‍ය අස්වැන්න 23%ක් දක්වා වැඩි කර ගත්තා. අපි ධීවර කර්මාන්තයේ විශාල ගොඩනැගීමක් ඇති කළා. ඒ සඳහා ජනාධිපතිතුමා හුඟක් උදව් කළා.

    දෛනික මත්ස්‍ය පරිභෝජනය 43.1ට දක්වා වැඩිවෙලා. ඒ නිසා මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතුයි. බාධක මැඩගෙන අපි මාළු මිල ස්ථාවර තත්ත්වයකට ගෙනාවා. අද භාණ්ඩාගාරය අපේ වැඩපිළිවෙළට සතුටුවෙලා අපිට උදව් කරනවා. ඒ නිසා ශීඝ‍්‍රයෙන් වර්ධනය වෙන කර්මාන්තයක් ලෙස ධීවර කර්මාන්තය පිළිඅරන් තියෙනවා" යැයි පැවසීය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya