ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    සමාජයේ සෑම තරාතිරමක ම පුද්ගලයන්ට සහන ලබාදෙන අය-වැයක්

    ඔක්තෝබර් 28, 2014

    සමාජයේ සෑම තරාතිරමක ම පුද්ගලයන්ට සහන ලබාදෙන ආකාරයේ අය-වැයක් මෙවර ඉදිරිපත්කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා 2015 ජාතික අය-වැය පිළිබඳ ව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පසුගියදා පැවසීය.


    මෙවර අය-වැයෙන් රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීමට අමතරව විශ‍්‍රාම වැටුප් විෂමතා ඉවත් කර විශ‍්‍රාම වැටුප් දීමනාව ද ඉහළ නැංවීම විශේෂත්වයකි. රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ලබාදෙන වැඩිහිටි දීමනාව රුපියල් 2,000 දක්වා වැඩි කිරීමටත් ආබාධිත පුද්ගලයන් සඳහා මාසිකව රුපියල් 3,000ක ජීවන දීමනාවක් ලබාදීමටත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ගත් පියවර ඓතිහාසික වන බව අමාත්‍යතුමා සඳහන් කළේය.

    අයවැය තුළින් කෘෂිකාර්මික අංශයේ ප‍්‍රගමනය වෙනුවෙන් සහන රැසක් ලබාදීමට අතිගරු ජනාධිපතිතුමා ක‍්‍රියා කළේය. වසර ගණනාවක් අඛණ්ඩ ව ලබා දුන් පොහොර සහනාධාරය ඉදිරියටත් ලබාදීමට අය-වැය තුළින් මුදල් ප‍්‍රතිපාදන වෙන්කිරීම දේශීය ගොවියා ආරක්ෂා කිරීම සඳහා රජය ක‍්‍රියාත්මක කළ දැවැන්ත කාර්යභාරයකි. ඒ අනුව ඉදිරියටත් රුපියල් 350 බැගින් වූ පොහොර සහනාධාරය ගොවියාට ලබාගත හැකි වනු ඇත. අනෙකුත් සියලු ම බෝග සඳහා රුපියල් 1,250ක මුදලක් යටතේ පොහොර ලබාදීමට ද මෙවර අය-වැය පහසුකම් සලසා තිබේ.

    ඉදිරිපත් කළ සෑම අය-වැයක් තුළින් ම වී මිලදී ගැනීමේ සහතික මිල ඉහළ නැංවීමට වත්මන් රජය පියවර ගත්තේය. මෙවර අය-වැය යෝජනා තුළින් වී කිලෝවක සහතික මිල රුපියල් 40ක් දක්වා ඉහළ නංවා ඇත. ඒ අනුව වී අලෙවි මණ්ඩලය මඟින් රුපියල් 40ක සහතික මිලට වී මිලදී ගැනීම ලබන වසරේ සිට සිදුවනු ඇත. වී සඳහා සහතික මිලක් ලබාදීම පමණක් නො ව අල, ළූණු, වියළි මිරිස් සහ බඩඉරිඟු සඳහා ද සහතික මිලක් ලබාදීමට අය-වැය මඟින් යෝජනා ඉදිරිපත් කර තිබේ.    

    වගාවේ දී ගොවියාට බීජ සඳහා විශාල මුදලක් වැය කරන්නට සිදු වේ. මේ නිසා අපහසුතාවට පත්වන ගොවියා වෙනුවෙන් සහන සැපයීමේ අරමුණින් 2015 මහ කන්නයේ සිට බිත්තර වී නොමිලේ ලබාදීමට පියවර ගෙන ඇත.

    අකර්මණ්‍යව පැවති ගොවි විශ‍්‍රාම ක‍්‍රමය 2014 පසුගිය අය-වැය තුළින් යළි සකර්මණ්‍ය කළ අතර 2015 අය-වැය මඟින් ගොවි විශ‍්‍රාම ක‍්‍රමයේ ප‍්‍රාග්ධනය රුපියල් මිලියන 5,500කින් වැඩිකර ඇත. වෙනත් කිසිදු රජයක් ලබා නොදෙන ආකාරයේ සහන රැසක් ගොවියා වෙනුවෙන් ලබාදීමට වත්මන් රජය සැමවිටම කටයුතු කළේය. මෙවරත් ගොවීන්ගේ බලාපොරොත්තු මල්ඵල ගන්වමින් ඔවුන් අපේක්ෂා කළ ආකාරයේ සහන අය-වැයක් ලබාදී ඇත.

    විපක්ෂය බලාපොරොත්තු නො වූ ආකාරයේ ජනතා හිතවාදී යෝජනා රැසක් මෙවර අය-වැය තුළින් ඉදිරිපත්වීම නිසා විපක්ෂය අපේක්ෂා භංගත්වයට පත්ව ඇත. දැන් ඔවුන් චෝදනා කරන්නේ මෙවර අය-වැය ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ඉලක්ක කරගත් මැතිවරණ අය-වැයක් බවයි. වත්මන් රජයට මැතිවරණ භීතිකාවක් නැත. සෑම මැතිවරණයකදී ම ජනතා ප‍්‍රසාදය ඉහළින් ලබාගෙන විශිෂ්ට ජයග‍්‍රහණ ලබාගැනීමට රජය සමත්වී ඇත. ජාතික අය-වැය යනු සෑම වර්ෂයක ම අනිවාර්යයෙන් ම ඉදිරිපත් කරනු ලබන රජයේ ආදායම් වියදම් පිළිබඳ ඇස්තමේන්තුවයි. මැතිවරණ ඉලක්ක කරගෙන මෙවර අය-වැය ඉදිරිපත් කිරීමට තරම් වත්මන් රජය බංකොලොත් වී නොමැති බව ද ඔහු පැවසීය.

    පාර්ලිමේන්තුවක අය-වැයක් යනු නීතිමය ලියවිල්ලකි. එය බොරුවක් ලෙස ඉදිරිපත් කළ නොහැක. යම් රජයක් විසින් අය-වැයක් ඉදිරිපත් කළ විට එහි සඳහන් කරුණු ක‍්‍රියාත්මක කිරීමට එම රජය බැඳී සිටී. එබැවින් විපක්ෂය අය-වැය පිළිබඳ ව ඉදිරිපත් කරන්නේ පදනම් විරහිත චෝදනා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya