ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    විධායක ජනාධිපතිධූරය අහෝසි කාලය පිළිබඳ ඇමැති විමල් ප්‍රශ්න කරයි

    නොවැම්බර් 24, 2014
    විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂකයා දින 100ක කාලයකින් විධායක ජනාධිප‍ති ධූරය අහෝසි කරන බවට ප්‍රකාශ කරන විට, එක්සත් ජාතික පක්ෂයේ තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කරනුයේ පැය 24 කින් විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතු බවයි. පොදු අපේක්ෂකයාට සහය පළකරන ජනතාව මින් කවර මතයක් විශ්වාස කළයුතු දැයි? විමල් වීරවංශ අමාත්‍යවරයා ප්‍රශ්න කරයි. 
     
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ නුවරඑළිය, කොත්මලේ "තොණ්ඩමාන්ගම" ජන සෙවණ නිවාස ගම්මානය ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් ඊයේ (23) දින පැවති උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි.
     
    මෙහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා "අපි කවුරුත් මේ රටේ ඉපදුණු, මේ රටේ ජීවත්වන, මේ රටේ මැරෙන මිනිස්සු. අපේ හැම හීනයක් ම තියෙන්නේ මේ රටත් එකක් බැඳිලා. ගෙයක් හදා ගන්න හීනයක් තියෙනවා නම් ඒක වෙන රටක නෙමෙයි ඒ මේ රටේ. දරුවෙක් දීග දෙන්න හීනයක් තියෙනවා නම් ඒකත් මේ රටේ තවත් පවුලක දරුවෙකුට තමයි. ඉගෙන ගන්න ඕනේ කියලා හිතෙනවා නම් ඒත් මේ රටේ ඉස්කෝලයක. ජීවත් වෙන්න ඕනේ කියලා හිතෙනවා නම් ඒත් මේ රටේම රැකියාවක්. ඒ නිසා මේ රට තමයි සිංහල වුණත් දෙමළ වුණත් මුස්ලිම් වුණත් අපිව පෝෂණය කරන්නේ. මේ රට තමයි අපි ව රැකබලාගන්නේ. ස්වභාවදහම ඉතාමත් ම අපූරුවට ම නිර්මාණය කරපු රටක් මේ රට". 
     
    "වතු කම්කරුවන් වන තමුන්නාන්සේලාගේ ජීවන තත්ත්වය උසස් කරන්න මහා වැඩපිළිවෙළක් ඒ පැවති බලවේගවලින් ආවේ නැහැ. තොණ්ඩමාන් ඇමතිතුමා එතුමාගේ පියතුමන්ලා ඔබලා වෙනුවෙන් ඒ කරන ලද දීර්ඝ කාලීන උත්සාහයක ප්‍රතිඵල වශයෙන් තමයි එදාට සාපේක්ෂ ව අද යහපත් ජීවන තත්ත්වයක් උරුම කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ".
     
    "මේ වතුකරයත් ඇතුළු ව, මධ්‍යම  කඳුකරයත් ඇතුළු ව උතුරත් නැගෙනහිරත් ඇතුළු ව මුළු රට ම එක කොඩියක් යටතට අරගෙන ආවේ වෙන කවුරුවත් නෙමෙයි. මේ රටේ රාජ්‍ය නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා". 
     
    "මොන අභියෝග  ආවත් මේ රට එක්සේසත් කරලා සමඟි සම්පන්න කරලා අද මේ රට ඉස්සරහට යනවා. මේ ප්‍රාදේශීය ලේකම්තුමන්ලා දන්නවා ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකට කොතරම් මුදල් ප්‍රමාණයක් එනවද කියලා. මේ අවුරුද්දට විතරක් මෙහෙට රුපියල් මිලියන 400ක්. ඒවායින් තමයි ඔබලාගේ පොදු අවශ්‍යතා බලලා ඉටුකරලා දෙන්නේ. මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති විතරක් නෙමෙයි, අධිවේගී මාර්ග, බලාගාර, ගුවන් තොටුපළවල් විතරක්  නෙමෙයි. පාසල්වලට මහින්දෝදය තාක්ෂණාගාර 2000ක් විතරක් නෙමෙයි. මේ ගම්මානය ඇතුළේ  තියෙන සුළු අවශ්‍යතා, පොදු වුවමනාවන්. ආන්න ඒවත් ඉටුකරලා දෙන්න". 
     
    "මේ රට අද ඉස්සරහට යනවා, හැදෙනවා, දියුණු වෙනවා. ඒක වළක්වන්න තමයි මේ දුෂ්ඨ කල්ලිවලට ඕන වෙලා තියෙන්නේ. වික්‍රමසිංහ මහත්තයා ආවා නම් මීට වඩා තරගයක් තියෙනවා. එතුමා ඡන්ද පැරදිලා තියෙන නිසා රටේ මිනිස්සු හැමෝම එතුමාව දන්නවා". 
     
    "මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විශිෂ්ට අයුරින් දිනවන්න අපි හැමෝ ම පෙළගැහෙමු. ඒ සඳහා  ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා" යනුවෙන්ද විමල් වීරවංශ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    “මහින්ද චින්තන ඉදිරි දැක්ම ” අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන “ජන සෙවණ”  නිවාස දස ලක්ෂයේ ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට සමගාමී ව මෙම නිවාස ගම්මානය ඉදිකර තිබේ.
     
    කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නායයෑමෙන් නිවාස අහිමි වූ පවුල් 34ක් වෙනුවෙන් මෙම නිවාස ගම්මානය ඉදිකර තිබේ. මේ සඳහා වැය වූ මුදල රුපියල් මිලියන 14.53කි. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් හා තාක්ෂණික උපදෙස් මත මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකර ඇත.
     
    මෙම අවස්ථාවට මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන් වන නිමල් පියතිස්ස, නුවරඑළිය නාගරික මන්ත්‍රී එස්. චන්ද්‍රන්, උඩ පළාත ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්. සෙල්වමුත්තු, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී බ්‍රිගේඩියර් මහින්ද මුදලිගේ, කොත්මලේ ප්‍රාදේශීය ලේකම් එච්.එම්.යූ.බී. හේරත් යන මහත්වරු, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයෝ, නිලධාරීහු සහ ප්‍රදේශවාසීහු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya