ශ්‍රී ලංකාවේ වැඩ වාසය කළ ශ්‍රේෂ්ඨ ධර්මධර හිමි නමක් වූ පැලෑනේ ශ්‍රී වජිරඥාන ස්වාමීන් වහන්සේ විසින් 1901 වසරේ දී ආරම්භ කරන ලද මෙම විහාරස්ථානය දිවයිනේ ශ්‍රේෂ්ඨ නායකයන් රැසකගේ ම පහස ලද ස්ථානයක් හා ධර්මධර, විනයධර හා උගත් භික්ෂූන් වහන්සේලා රැසක් ම අප මව්බිමට දායාද කළ විහාරස්ථානයකි.
එසේම අමරපුර පාර්ශ්වයේ උත්තරීතර මහානායක ස්වාමීන් වහන්සේලා වැඩ සිටින ලද විහාරස්ථානයක් වන මෙහි ආරම්භයේ සාදන ලද ධර්ම ශාලාව කාලයාගේ ඇවෑමෙන් ඉතා අබලන් තත්ත්වයට පත්වූ අතර එහි වර්තමාන විහාරාධිපති අති පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද හිමියන් විසින් ආරක්ෂක ලේකම්තුමාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම ඉපැරණි ධර්ම ශාලාව එහි ඉපැරණි බව සුරැකෙන අන්දමින් ඉතා අලංකාරවත් ලෙස ප්‍රතිසංස්කරණය කරන ලදී.
අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක අග්ග මහා පණ්ඩිත අති පූජ්‍ය දවුල්දෙන ඥානිස්සර ස්වාමීන් වහන්සේ විසින් මෙම උත්සවයෙහි මුලසුන හොබවන ලද අතර උත්සව ආරම්භයේ දී අටවිසි බුද්ධ පූජාවක් පවත්වන ලදී. ඉන් අනතුරු ව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රතිසංස්කරණය කරන ලද ධර්ම ශාලාවේ සවිකර තිබූ එහි නාම පුවරුව නිරාවරණය කිරීම මගින් මෙම ධර්ම ශාලාව විවෘත කරන ලදී.
ඒ අනුව මෙම ධර්ම ශාලාව “පැලෑනේ ශ්‍රී වජිරඥාන මාහිමි සමරු සදහම් පාය” ලෙසින් නම්කර තිබිණ. ඉන් අනතුරු ව විහාරස්ථානයේ විහාරාධිපති තැන්පත් ත්‍රිකුණාමලයේ ආනන්ද ස්ථවිරයන් වහන්සේ විසින් පැමිණ සිටි පිරිස පිළිගනිමින් කෙටි අනුශාසනාවක් කරන ලදී. තිස් වසරක් පුරා රටේ පැවති යුද්ධය හමාර කිරීම සඳහා ජනාධිපතිතුමාට විශාල ශක්තියක් ලබාදුන් ආරක්ෂක ලේකම්තුමා විසින් යුද්ධයෙන් අනතුරු ව සිය අමාත්‍යාංශයේ රාජකාරිවලට අමතර ව කොළඹ නගරය පිරිසිදු හරිතවත් හා අලංකාර නගරයක් බවට පත්කිරීම සඳහා මනා සැලසුමකින් හා කැපවීමකින් වැඩ කටයුතු සිදුකරන අතරම දිවයිනේ විවිධ ප්‍රදේශවල ඇති පුරාණ විහාරස්ථානයන් ප්‍රතිසංස්කරණය කිරීම තුළින් ජනතාව තුළ අධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කිරීම සඳහා වෙහෙසන බවත් එසේම යුද්ධයෙන් අනතුරු ව හමුදාව මෙවැනි සංවර්ධන කටයුතු සඳහා යොමු කරමින් ඉතා විශිෂ්ට සේවාවක් සිදුකරනු ලබන බවද ආනන්ද හිමියන් මෙහිදී පවසා සිටියේය.
අනතුරු ව අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක හිමිපාණන් හා විද්‍යයෝදය පරිවේනාධිපති බලංගොඩ සෝභිත යන ස්වාමීන් වහන්සේලා විසින් මෙම බම්බලපිටිය ශ්‍රී වජිරාරාමයේ ඓතිහාසික වැදගත්කම පිළිබඳ ව සඳහන් කරමින් කෙටි අනුශාසනා පවත්වනු ලැබූහ.
ඉන් අනතුරු ව ජනාධිපතිතුමාට, ආරක්ෂක ලේකම්තුමාට හා මෙම සද්කාර්යය සඳහා වෙහෙස මහන්සි වූ සියලු ම දෙනාට ආශීර්වාද කිරීම හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සඳහා මහා සංඝ රත්නය විසින් ජය පිරිත් දේශනාව සිදු කරන ලදී.
මෙම අවස්ථාව සඳහා ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන අයෝමා රාජපක්ෂ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ජගත් ජයසූරිය හා එම මහත්මිය, නාවික හමුදාපතිතුමා හා එහි සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය ඇතුළු ව සම්භාවනීය අමුත්තන් රාශියක් හා විහාරස්ථානයේ දායක බැතිමතුන් විශාල සංඛ්‍යාවක් සහභාගි වූහ.
DB