ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    රට අවුලකට ගෙන යන උත්සාහය පරාජය කළ යුතුයි

    දෙසැම්බර් 02, 2014
    අසංස්කෘතික හවුලක් රට යළි අවුලකට ගෙන යාමට දරණ උත්සාහය පරාජය කළ යුතු බව විමල් වීරවංශ අමාත්‍යවරයා  අවධාරණය කරයි.
     
    විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සටනට පණ පෙවූ මාදුළුවාවේ සෝභිත හිමියන්ට නොසලකා හැරීමේ තත්ත්වයකට විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂක හවුල පත් ව සිටින බවත් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තබන අවස්ථාවේදී සෝභිත හිමියන්ව නොසලකා හැරීම තුළ ඒ බව මනාව පැහැදිලි වූ බව ද ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.
     
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ නිවාස ඒකක 216කින් සමන්විත කොළොන්නාව, සාලමුල්ල මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීමේ උත්සව අවස්ථාවට සහභාගී වෙමිනි. මෙම උත්සවය ඊයේ (01) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම මහල් නිවාස සංකීර්ණයේදී පැවැත්විණ. 
     
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා “තොරතුරු දැන ගැනීමේ අයිතිය නමැති මහා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සම්බන්ධව නිරන්තරයෙන් කතා කරන විරුද්ධ පක්ෂය මේ වන විට එම අයිතිය අමු අමුවේ උල්ලංඝනය  කරමින් සිටින බව පෙනී යනවා. විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීම සඳහා අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුමට අදාළ තොරතුරු මාධ්‍යට නිසි ආකාරයෙන් ලබාදීමට පවා විරුද්ධ පක්ෂයේ පොදු හවුල කටයුතු කරලා නැහැ. නමුත් උදේටත්, දවල්ටත්, රාත්‍රියටත් ඒ අය කතා කරන්නේ තොරතුරු  දැන ගැනීමේ මහා ප්‍රජාතන්ත්‍රවාදී  අයිතිය සම්බන්ධවවීම පුදුම සහගතයි.
     
    රටේ සංස්කෘතිය පවා  නොදන්නා වූ අවුල් සහගත හවුලක් එකට එකතු වී රට නැවත වරක් අවුල් කිරීමට උත්සාහ දරමින් සිටින බව පෙනී යනවා. පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමේ අවබෝධතා ගිවිසුම අත්සන් තබන අවස්ථාවේදී මෙම හවුල රටේ සංස්කෘතිය පවා නොදන්නා වූ  අවුල් සහගත හවුලක් බව මනාව පැහැදිලි වුණා. එම අවස්ථාවේදී ගිහි පාර්ශවය නියෝජනය කරන සියලු දෙනා අවබෝධතා ගිවිසුමට අත්සන් කළාට පසුව තමයි ගරු කටයුතු සෝභිත හිමියන්ට එම අවස්ථාව ලබාදුන්නේ.  ගරු කටයුතු ස්වාමීන් වහන්සේ නමකට ලබාදිය යුතු ගෞරවය පවා මේ අවුල් සහගත හවුල නොදැනීම කනගාටුවට කරුණක්. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ යනු විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමේ  සටනට පණපෙවූ හිමිනමක්. නමුත් එම ස්වාමීන්ද්‍රයන් වහන්සේව පවා නොසලකා හරින තත්ත්වයකට පොදු අපේක්ෂක හවුල මේ වන විට පත්ව සිටිනවා.
     
    2010 දී වගේ ම මෙවරත් විරුද්ධ පක්ෂය ජනාධිපතිවරණය සඳහා යොමුකරලා තියෙන්නේ පිට් පොකට් අපේක්ෂකයෙක්.  ගියවර ෆොන්සේකා මහත්තයා කර ගහපු භූමිකාවට අද මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කර ගහනවා.
     
    දින 100කින් විධායක ජනාධිපතිධූරය අහෝසි කරලා යනවායි කියපු මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කොහොමද ජනාධිපතිතුමන්ව හා ආරක්ෂක ලේකම්තුමාව රැකගන්නේ කියන කරුණ අපට ප්‍රශ්නයක්. සිරිසේන මහත්තයා පවසන පරිදි පැය 24න් බලය රනිල්ට ලබාදීලා, දින 100න් බලතල සම්පූර්ණයෙන් ම අහෝසි කරලා ගියාම, එතුමා වෙනුවට ඒ පුටුවට එන්නේ වෙන කෙනෙක්. එතකොට කොහොමද සිරිසේන මහත්තයා රට ආරක්ෂා කරන්නේ? මේ විදිහේ බොරු නිසා ම විරුද්ධ පක්ෂයේ දේශපාලනය බොරු විලක් බවට අද වන විට පත්වෙලා තියෙනවා.
     
    ගෞරවනීය දේශපාලඥයන්ගේ චරිත ඝාතනය කිරීමේ වෑයම කුමන්ත්‍රණකාරී බලවේග වර්තමානයේ දී ත් නිරත ව සිටිනවා ” යනුවෙන් ද විමල් වීරවංශ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    මෙම අවස්ථාවට අති ගෞරවනීය මහා සංඝරත්නය ද වැඩම කර සිටියහ. ඊට අමතර ව ජ්‍යේෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි, අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා මහත්වරු, පළාත් සභා නියෝජිතයෝ, රාජ්‍ය නිලධාරීහු සහ ප්‍රතිලාභීහු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya