ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකන් සහ ජපන් ගුවන් සමාගම් අතර ගිවිසුමක්

    දෙසැම්බර් 04, 2014
    ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම එහි ඈත පෙරදිග ගමනාන්ත වෙත මෙහෙයුම් ව්‍යාප්ත කිරීමේ අරමුණින් ජපන් ගුවන් සමාගම  (JAL) හා එක් ව දෙසැම්බර් මස 2 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සංකේත හුවමාරු ගිවිසුම් සඳහා එළඹෙන ලදී.
     
    මෙම නව සංකේත හුවමාරු ගිවිසුම සමඟ ශ්‍රී ලංකන් ගුවන් සමාගම වන් වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජික ගුවන් සේවා හා එක් ව සංකේත හුවමාරු ගිවිසුම් සඳහා එළැඹුණු සය වැනි අවස්ථාව වේ. මින් පෙර ගුවන් සමාගම මැලේෂියා එයාර්ලයින්ස්, සයිබීරියා එයාර්ලයින්ස් (S7), රෝයල් ජොර්දානියන්, ෆින් එයාර් සහ කොන්ටාස් ගුවන් සේවා හා එක් ව සංකේත හුවමාරු ගිවිසුම් සඳහා එළැඹ ඇත.
     
     
    ගුවන් මගීන් සඳහා සුවපහසු සංචාරක පහසුකම් ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම නරීටා වෙත සතියකට ගුවන් ගමන් වාර 4ක් සිදු කරමින් ජපන් ගුවන් සමාගම හා එක් ව ඔසාකා සහ නගොයා වෙත ද ගුවන් මෙහෙයුම් සිදු කරයි. 
     
     
    තවදුරටත් බැංකොක් වෙත දිනකට ගුවන් ගමන් 2ක් ශ්‍රී ලංකන් සමාගම සිදු කරන අතර JAL හරහා බැංකොක් සිට ඉහත ගමනාන්ත වෙත පියාසර කිරීමට ගුවන් මගීන්ට හැකියාව ලැබේ. එසේම ශ්‍රී ලංකන් ගුවන් සමාගම ජපන් ගුවන් සමාගම හා එක් ව ටෝකියෝ සිට දකුණු කොරියාවේ සියොල් හා බූසාන් වෙත ද ගුවන් ගමන් සිදු කරනු ලැබේ. මේ අනුව ජපන් ගුවන් සමාගම ශ්‍රී ලංකන් හරහා කොළඹ සිට ටෝකියෝ, බැංකොක් සහ මාලේ වෙත ගුවන් මෙහෙයුම් සිදු කරනු ලැබේ.
     
     
    ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රසිද්ධ නිවාඩු ගමනාන්තයක් වන මාලදිවයින වෙත කොළඹ සිට ගුවන් ගමන් වාර විශාල සංඛ්‍යාවක් සිදු කරමින් ගුවන් මගීන්ට පහසු ගුවන් සම්බන්ධතා සිදු කිරීමටත් ජපන් ගුවන් සමාගම හා එක් ව සංකේත හුවමාරු ගුවන් මාර්ග ඔස්සේ නව සංචාරක විසඳුම් ලබාදීමටත් කටයුතු කරනු ඇත.
     
     
    මෙම ගුවන් සමාගම් දෙකෙන් එකක ඕනෑ ම අවස්ථාවක සංචාරය කිරීමේ දී එක් ගුවන් ප්‍රවේශ පතක් තුළින් ගමනාන්ත රැසක් වෙත පියාසර කිරීමටත්  ගමන් මලු පහසුකම් සහ නිරන්තර පියාසර මයිල්ස් උපයා ගැනීමේ අවස්ථා භුක්ති විදීමේ හැකියාවත් ගුවන් මගීන්ට හිමි වේ.
     
     
    විශේෂයෙන් ශ්‍රී ලංකන් ගුවන් යානා ඇණියට පසුගිය ඔක්තෝම්බර් මාසයේ  එක්වූ නවත ම එයාර්බස් 330-300 ගුවන් යානාව ඇතුළු ව අනෙකුත් නව ගුවන් යානා මූලික වශයෙන් ටෝකියෝ සහ බැංකොක් ගමන් මාර්ග සඳහා යොදා ගැනීමට ගුවන් සමාගම බලාපොරොත්තු වේ.
     
     
    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ උපාය මාර්ගික ක්‍රියා මාර්ගයක් වන නව සංවර්ධිත වෙළෙඳ පොළවල් වෙත මෙහෙයුම් ව්‍යාප්ත කිරීම සනිටුහන් කරමින් මෙම නව සංකේත හුවමාරු ගිවිසුම තුළින් ජපානය හා ශ්‍රී ලංකාව අතර සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීම ද බලාපොරොත්තු වේ. මෙයින් ජපන් ගුවන් සමාගම වන් වර්ල්ඩ් ගෝලීය ගුවන් සන්ධානය හරහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා ගුවන් සබඳතා ශක්තිමත් කිරීමටත් නිරන්තර පියාසර කරන්නන් සඳහා අසීමිත සංචාරක අත්දැකීම් ලබාදෙමින් ප්‍රතිලාභ අත්පත් කර ගැනීමටත් බලාපොරොත්තු වේ.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya