ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    දේශීය අනන්‍යතාව ලෝකයට ගෙන යන්නේ අපේ රටේ කලාකරුවන්

    දෙසැම්බර් 15, 2014

    දේශීය අනන්‍යතාව ලෝකයට ගෙන යන්නේ අපේ රටේ කලාකරුවන් බවත් ඒ සඳහා අවශ්‍ය වටපිටාව සකස් කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය. 


    එතුමා මේ බව සඳහන් කළේ වැලිගම නගර ශාලාවේ දී පසුගියදා ජාතික ශිල්ප සභාව මඟින් සංවිධානය කළ "විශ්වකර්ම" තිළිණ ප‍්‍රදානෝත්සවයට සහභාගී වෙමිනි. 

    මෙහිදී අදහස් පළ කළ අමාත්‍යතුමා පවසා සිටියේ, කලාකරුවන්ට නිදහස් මනසකින් තම නිර්මාණ එළිදැක්වීමට සාමකාමී වාතාවරණයක් ඇති කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා බවයි.

    නිර්මාණ හැකියාව සැමටම පිහිටන්නේ නැත. එය කෙනෙකුට කලාතුරකින් හිමිවන අපූරු කුසලතාවකි. අපේ රට ලාක්ෂා කර්මාන්තය, බෙර කර්මාන්තය, හණ කර්මාන්තය, වෙස්මුහුණු කර්මාන්තය වැනි හස්ත කර්මාන්තවලට ප‍්‍රසිද්ධියක් උසුලයි. නුවර පළාතේ රන්, රීදී කර්මාන්ත ආශ‍්‍රිතව පවතින විස්තීර්ණ කැටයම් කලාව ලෝකයේ කිසිදු රටක දක්නට නොලැබේ. ලාංකිකයන් අතින් නිම වූ රේන්ද ජර්මනිය තුළ ඉතා ප‍්‍රසිද්ධයි. ශ‍්‍රී ලංකාව තුළ සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය වීමෙහිලා අපේ සාම්ප‍්‍රදායික කලා නිර්මාණ ප‍්‍රබල සාධකයක් වී ඇත. පරම්පරාවෙන් පරම්පරාවට පාරම්පරිකව අපට දායාද වී ඇති සාම්ප‍්‍රදායික කර්මාන්ත තවදුරටත් රැකගැනීමට නම් ඒවා පිළිබඳ දැනුම සහ තාක්ෂණය තරුණ පරපුර වෙත ලබා දිය යුතුය. ඔවුන්ට නව නිර්මාණ එළිදැක්වීමේ පසුබිම නිර්මාණය කර දිය යුතුය. මේ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට ජනාධිපතිතුමා විසින් මුදල් ප‍්‍රතිපාදන වෙන් කර දී තිබේ.

    හස්ත කර්මාන්ත ආශ‍්‍රිතව නිර්මාණය වන භාණ්ඩ මිල දී ගන්නේ විදෙස් සංචාරකයන් විසිනි. ඔවුන් මෙම නිර්මාණවල වටිනාකම පිළිබඳ ව හොඳින් දනියි. කාලය, ශ‍්‍රමය වැය කරමින් ඉතා සූක්ෂම නිර්මාණය කරන භාණ්ඩවලට නිසි වටිනාකමක් ලබා ගැනීමට හැකි වී තිබෙන්නේ අපේ රටට විදෙස් සංචාරයන් පැමිණෙන නිසාය. විදෙස් සංචාරකයන්ට ලංකාවේ සංචාරය කිරීමේ වටපිටාවක් සැකසී ඇත්තේ අපේ රට තුළ පවතින සාමකාමී වාතාවරණය හේතුවෙනි. ශ‍්‍රී ලංකාව තුළ පවතින නිදහස් වටපිටාව නිසා කලාකරුවන්ට ඉවසීමෙන් යුතුව උසස් නිර්මාණ බිහිකිරීමට හැකියාව ලැබී තිබේ. සමහරු උත්සහ දරන්නේ රටේ සාමය විනාශ කිරීමටයි. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා මැතිණියගේ සමයේ සාම්ප‍්‍රදායික කලාකරුවන් වෙනුවෙන් කිසිදු ප‍්‍රතිලාභයක් ලබා දුන්නේ නැත. තමන්ට කර ගත නොහැකි වූ කාර්යයන් තවත් අයෙක් විසින් ඉටු කරන විට ඇති වන්නේ ඊර්ෂ්‍යාවකි. නමුත් ඊර්ෂ්‍යාව නිසා රටේ ගමන අඩාල වන අකාරයෙන් කටයුතු කිරීම සුදුසු නැත. රට ඉදිරියට ඇදෙන වත්මන් තත්ත්වය ඉදිරියටත් ආරක්ෂා කර ගැනීම ජනතාව සතු වගකීමකි.

     පෞද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් රටේ දියුණුව විනාශ කිරීමට කිසිවෙකුට ඉඩදිය යුතු නැත. අපි එකාමෙන් එකමුතු වී බිහිකළ යුත්තේ සංහිඳියාවෙන් යුතු රටකි. හෙළ උරුමයේ අතුරලියේ රතන ස්වාමීන් වහන්සේට පංච ශීලයවත් නිවැරදිව සඳහන් කිරීමට නොහැකි වී ඇත. පංචශීලයවත් නිවැරදිව නොදැන බොදු උරුමය හෝ හෙළ උරුමය රැකගන්නේ කෙසේද යන්න ගැටලුවකි. තමන් කරන වැඩපළිවෙළ ගැනවත් අවබෝධයක් නැති අය දේශපාලඥයන් වන්නේ කෙසේදැයි අප සිතා බැලිය යුතුයි. ඔවුන්ට මඩ ගැසීම හැර රට ඉදිරියට ගෙනයාමේ අවශ්‍යතාවක් නැත. මෙවර අයවැයෙන් ජනාධිපතිතුමා ස්වයංරැකියාවල නියැළෙන කාන්තාවන්ට රුපියල් ලක්ෂ 2.5ක පොලී රහිත ණය ලබාදීමට කටයුතු යොදා ඇත. ඊට අමතරව ස්වයංරැකියාවල නියුතු පිරිස වෙනුවෙන් ප‍්‍රතිලාභ රැසක් ලබාදී ඇත. සමාජයේ සෑම පුද්ගලයෙකුටම සහන සලසන තීන්දු තීරණ ගත් නායකයෙකු වේ නම් ඒ මහින්ද රාජපක්ෂ මැතිඳුන් පමණි.

    අපේ තරුණ පරපුරට මූලික පහසුකම් ලබාදෙනවා නම් ඔවුන්ට කළ නොහැකි දෙයක් නොමැත. අපේ රටේ සාමාන්‍ය පෙළ හදාරන දරුවෙක් පරිඝනක තාක්ෂණයෙන් ලොව ප‍්‍රථමයා බවට පත්විය. තවත් දරුවෙක් වේලි සකස් කරන යන්ත‍්‍රයක් හඳුන්වා දුන්නේය. එම ශිෂ්‍යයාට ඇමරිකාවට යාමට ශිෂ්‍යත්වයක් හිමිවිය. නමුත් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ විධායක බලතල පාවිච්චි කර එම ශිෂ්‍යයාට උපරිම පහසුකම් සපයා දෙන බවයි. එතුමා තම විධායක බලතල භාවිත කරන්නේ රටට යහපතක් සිදු වන දෙයකට විනා බැද්දගාන සංජීවට පොලිසියේ රැකියාවක් ලබාදීම වැනි අකටයුතුකම් කිරීම සඳහා නොවේ. මෙම තීරණාත්මක අවස්ථාවේ දී නිවැරදි තීරණයක් ගත යුත්තේ ජනතාව විසිනි. රට ඉදිරියට ගෙනයන සංවර්ධන වැඩපිළිවෙළ තවදුරටත් ක‍්‍රියාත්මක කිරීමට ඉඩ දෙනවාද නැතහොත් රට විනාශ මුඛයට ගෙන යාමට සහයෝගය දෙනවාද යන තීරණය ලබාදීම ජනතාවට අයත් කාර්යයකි. එහිදී ජනතාව වඩාත් බුද්ධිමත් විය යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya