ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    සිවිල් නඩු විධාන සංශෝධන තුළින් නීති ක්ෂේත‍්‍රයේ විශාල පරිවර්තනයක් - රවුෆ් හකීම්

    පෙබරවාරි 17, 2015

    සිවිල් නඩු විධි විධාන පනතට ඉදිරිපත් කර ඇති සංශෝධන කෙටුම්පත නව අධිකරණ අමාත්‍යතුමා යටතේ පාර්ලිමේන්තුවට ඉදරිපත් කොට එය සම්මත කරගැනීම හරහා නීති ක්ෂේත‍්‍රයේ විශාල වෙනසක් හා පරිවර්තනයක් සිදුවිය හැකි බව රවුෆ් හකීම් මහතා පවසයි. 

    ඒ මහතා මේ බව කියා සිටියේ කල්පිටිය සංචාරක මහේස්ත‍්‍රාත් අධිකරණ ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.
     
     
    මෙම උත්සවය අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍ය, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ හා හිටපු අධිකරණ අමාත්‍ය වත්මන් නාගරික සංවර්ධන, හා ජල සම්පාදන, ජලාපවහන අමාත්‍ය රවුෆ් හකීම් යන මහතවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් කමලනී ද සිල්වා, පුත්තලම දිස්ත‍්‍රික් නීතිඥ සංගමයේ සභාපති වැඩබලන මහේස්ත‍්‍රාත් එම්. ඉක්බාල්, වැඩබලන මහේස්ත‍්‍රාත් සුනිල් ජයවර්ධන යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් කල්පිටියේ දී පැවැත්වුණි.
     
     
    කල්පිටිය ප‍්‍රදේශයේ අධිකරණමය කටයුතු මේ තාක් කල් සිදු කරනු ලැබූවේ ප‍්‍රදේශයේ විහාරස්ථානයක පිහිටි ධර්මශාලා ගොඩනැගිල්ලකය. කල්පිටිය පොලිස් වසමක් උවත් ජනතාව ජීවත් වන ප‍්‍රදේශයේ වපසරිය ඉතා පුළුල් බැවින් අධිකරණ කටයුතු ඉතාම අපහසුතා හා අසීරු කටයුත්තක් බවට පත්වී තිබිණ. ප‍්‍රධාන වශයෙන් ප‍්‍රවාහන හා ස්ථානීය අපහසුතාවය මේ සියල්ල සලකා බැලූ හිටපු අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතා ජනතාවගෙ දැඩි ඉල්ලීමකට අනුව මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට කටයුතු කෙරිණි. මේ සඳහා රුපියල් මිලියන 20ක් රජය මගින් වැයකර ඇත. දැනට පවතින අඩු පාඩුවලට සාපේක්‍ෂව යම්තාක් දුරකට විධිමත් ලෙස අධිරණය කටයුතු කරගෙන යෑම සඳහා මෙහි පහසුකම් සලසා ඇත.
     
     
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රවුෆ් හකීම් මහතා කියා සිටියේ, මීට වසර 3 කට පෙර මේ ප‍්‍රදේශයට පැමිණි මොහොතේ ජනතාව කළ ඉල්ලීමකට අනුව මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට කටයුතු කළ බවත්, තමා අධිකරණ අමාත්‍ය ධුරය දරන කාලයේ දී ම ඉදිකිරීම් කටයුතු නිම වූවත් විවෘත කිරීමට අවස්ථාවක් යොදා ගැනීමට නොහැකි වූ බවයි. 
     
     
    නීති ක්ෂේත‍්‍රයේ සමකාලීන මිත‍්‍රයකු වන නව අමාත්‍යවරයා යටතේ එය විවෘත කිරීමට ලැබීම පිළිබඳවත්, නීති ක්ෂේත‍්‍රයේ පුළුල් දැනුමක් ඇති විජයදාස රාජපක්ෂ මහතා වැනි අයෙකුට මෙම ක්ෂේත‍්‍රය භාරදීම ගැන ඉතාමත් සතුටට පත්වන බවද කීය. 
     
     
    එසේම නීති ක්ෂේත‍්‍රයේ ව්‍යූහාත්මක වෙනස්කම් රැසක් සිදුකර තිබෙන අතර මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ විශේෂ අමාත්‍යවරයක් පත්ව සිටිය ද, මුස්ලිම් විවාහ දික්කසාද නීතියට සංශෝධන එකතු කිරීම සඳහා විවාහ අධිකරණයේ විනිසුරුවරයෙකු වන සලීම් මර්සූෆ් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පත් කළ කමිටුව ඒ පිළිබඳ ව වැඩකටයුතු අවසන් කර ඇති බැවින් අධිකරණ අමාත්‍යතුමාගේ ද සහයෝගයෙන් එම පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බවය.  සරුසාර ඉඩම්වලින් හෙබි කල්පිටිය ප‍්‍රදේශය පහසුකම් ලබා දිය යුතු ප‍්‍රදේශයක් ලෙස  සැලකිය යුතු බවත්, ප‍්‍රවාහන අපහසුතාවයන් දැඩිව බලපාන ප‍්‍රදේශයක් ලෙස පෙනී යන බව කී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, රංගේ බණ්ඩාර අමාත්‍යතුමා පැවසූ පරිදි උඩප්පුව, ආරච්චිකට්ටුව හා නොරොච්චෝලේ වැනි ප‍්‍රදේශ සඳහා පොලිස් ස්ථාන ආරම්භ කර ස්ථිර මහේස්ත‍්‍රාත්වරයෙක් ලබාදීමට කටයුතු කරන ලෙස ද අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවයි.
     
     
    අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප‍්‍රධාන දේශනය කළ අතර විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ද මෙහිදී අදහස් දැක්වූහ. 
     
     
    මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන්, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya