ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    කාන්තාවන්ගේ හැකියාව ප්‍රබලයි - එමඟින් සමාජයේ කාන්තාව බබලයි

    මාර්තු 09, 2015

    සමාජයේදී කෙතරම් බලවත් ප‍්‍රසිද්ධ පුද්ගලයෙකු වුවත් නිවසේදී තම ගෘහණියගේ අණසකට යටත් වන බව ප‍්‍රකට රහසක් යැයි ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.


    ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ගාල්ල නගර සභා ශාලාවේ ඊයේ (08) පැවති බන්දුල ලාල් බණ්ඩාරිගොඩ පදනම සංවිධානය කරන ලද කාන්තා සැමරුම් උත්සවයේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ගාලු දිසාවේ කාන්තාවන් 40,000කගේ පමණ සාමාජිකත්වයෙන් යුතුව පවත්වාගෙන එන "ගෘහණිය" දිරිය කාන්තා සංවිධානයේ සාමාජිකාවෝ තම නිර්මාණ ඉදිරිපත් කරමින් ඊට සහභාගී වූහ.

    පැච්වර්ක්, සාරි මුද්‍රණ, කාන්තා අත්කම්, බිත්ති සැරසිලි, ළමා ඇඳුම්, ඇඳ ඇතිරිලි ආදී නව අත්කම් නිර්මාණ රැසක් මෙහිදී ඉදිරිපත් කර තිබුණි.

    උත්සව සභාවේ ආරම්භයට පෙර කාන්තා නිර්මාණ දැක්ම හා ප‍්‍රදර්ශනය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් විවෘත කරන ලදී.

    වැඩිදුරටත් සභාව ඇමතූ අමාත්‍යවරයා, ගෘහණිය යන වදනින් ගෘහයට කොටු වී සිටින මෙන්ම ගෘහයේ භාරකරුවා යන අර්ථයත් ගම්‍ය වෙනවා. නිවසක භාරකරුවා නොඑසේ නම්, මවගේ භූමිකාව ප‍්‍රබල එකක්. නිවාස එකතු වී ගමක් හැදෙනවා, ගම් එකතුව පළාත් ලෙස හඳුන්වනවා. මේ පළාත් එකතු වීමෙන් රටක් නිර්මාණය වෙනවා, රටවල් එකතුව ලෝකය ලෙස හඳුන්වනවා. ඒ අනුව සලකන කළ ලෝකය නිර්මාණය වීමේ මූලික පදනම නිවසයි. ලොවක් ගොඩනැගීමේ භාරකරුවා ගෘහණියයි. අපට හුරු විදියට පවසනවා නම් උතුම් මව් පදවිය දරන ගෘහණියයි යනුවෙන් පැවසීය.

    ප‍්‍රකට රුසියානු ලේඛක මැක්සිම් ගෝර්කි කියමනකට අනුව "ලෝකය නිර්මාණය වන්නේ මවගේ කිරිත් හිරුගේ කිරණත්" එකතුවෙනි. එම වදන තුළින් සනාථ වන්නේත් සොබාදහමත් මවත් ලෝකයට ජීවය ලබා දෙන බවයි. මාතෘත්වයේ සදාතනික උත්තරීතර විග‍්‍රහයයි. ලොව පහළ වූ ඕනෑම ශ්‍රේෂ්ඨ වික‍්‍රමාන්විත සෑම පුද්ගලයෙකුම මවකගේ නිර්මාණයක්. නැපෝලියන් ප‍්‍රකාශ කළ පරිදි "තොටිල්ල පදවන අත ලොව ආණ්ඩු කරයි" යන වදනින් ප‍්‍රකට වන්නේත් ශ්‍රේෂ්ඨ හෝ වීර වික‍්‍රමාන්විත චරිත ලොවට දායාද කළේ උතුම් මව් කුසින් බවයි. කාන්තාවට සමතැන දීමට බුදුන් වහන්සේ ක‍්‍රියා කළ නිසා අපට මෙහෙණි සසුන උදා වී දහස් ගණන් රහත් මෙහෙණින්වහන්සේලා බුදු සසුනට දායාද වුණා. කාන්තා අයිතීන් හා සමතුන් අතින් ශ්‍රී ලාංකිකයන්ට ආඩම්බර විය හැකි කරුණු තියෙනවා. යටත් විජිතයේ රටවල් අතුරින් ප‍්‍රථම වරට කාන්තා සර්වජන ඡන්ද බලය හිමිවුණේ මෙරට කාන්තාවන්ටයි. 1960 ජූලි මාසයේදී ලෝකයේ ප‍්‍රථම කාන්තා අගමැතිතුමිය බිහිවුණෙත් අපේ මව්බිමෙන්.

    ගෙදර දියුණුවට ගෘහණියගේ පැවැත්ම අතිශය වැදගත් වෙනවා. ඒවාගේම තමයි වැරදි විදියට කටයුතු සිදුවුවහොත් පවුලක විනාශය වලක්වන්නත් බැහැ. ගෙදර හොඳවීම සමාජයට බලපානවා සේම පවුලක විනාශකාරීත්වයත් සමාජයට බලපානවා. එම නිසා වැදගත් ගෞරවාන්විත පිරිසක් විදියට, සමාජයේ සම්භාවනාවට ලක් වෙන පිරිසක් විදියට කාන්තාවන් ජීවත්වීම වැදගත් බව තම අදහස යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙම අවස්ථාවට "ගෘහණිය" දිරිය කාන්තා පදනමේ නිර්මාතෘ සහ දකුණු පළාත් සභා මන්ත‍්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ, දකුණු පළාත් සභා මන්ත‍්‍රී ජයන්ත ජයවීර යන මහත්වරු ද සහභාගී වූහ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya