ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ආරක්‍ෂක අමාත්‍යංශ සේවා වනිතා ඒකකයෙන් රණ විරු පවුල් සඳහා පොලී රහිත ණය

    මැයි 14, 2015
    ආරක්‍ෂක අමාත්‍යංශ සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරනු ලැබූ මෙරට වසර 30ක් පුරාවට පැවති යුද්ධයේ දී අප මාතෘ භූමිය ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් සිය ජීවිත පූජාවෙන් සටන් කර මියගිය රණ විරුවන්ගේ පවුල්වලට හා රණ ශ්‍රිතයට පත් රණ විරුවන්ගේ අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවාස සම්පූර්ණ කර ගැනීම සඳහා ආරම්භ කරන ලද රුපියල් ලක්‍ෂ 3ක උපරිමය යට‍තේ වන පොලී රහිත ණය යෝජනා ක්‍රමයේ 21 වන අදියර අද (14) ආරක්‍ෂක අමාත්‍යංශ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී අමාත්‍යශයේ ලේකම් බී. එම්. යූ. ඩී. බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
     
    මෙහිදී පැමිණ සිටි පිරිස පිළිගනිමින් අදහස් දැක්වූ ආරක්‍ෂක අමාත්‍යංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන එස්. බස්නායක මහත්මිය මෙරට වෙලාගෙන තිබූ රුදුරු ත්‍රස්තවාදයයෙන් අප රට බේරා ගැනීම සඳහා රණ විරුවන් විසින් 
    කරන ලද සේවය අති විශිෂ්ට බව පැවසූ අතර එවැනි වීර දූ පුතුනට කෘතගුණ සැලකීම වස් ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය නගා සිටුවීම පිණිස ආරක්‍ෂක අමාත්‍යංශය විසින් විවිධ සුබසාධක ව්‍යාපෘතීන් ආරම්භ කරනු ලැබ ඇති බව පැවසූ අතර අර්ධ වශයෙන් සාදන ලද නිවාස සම්පූර්ණ කර ගැනීම සඳහා වන මෙම පොලී රහිත ණය යෝජනා ක්‍රමය එකී සුබසාධක වැඩපිළිවෙළවල්වලින් එකක් බවත් පවසා සිටියාය.
     
    මෙහිදී යුද හමුදාවේ 27 දෙනෙකු, නාවික හමුදාවේ 12 දෙනෙකු හා ගුවන් හමුදාවේ 09 දෙනෙකුද ආදී වශයෙන් 48 දෙනෙකු සඳහා ණය මුදල් ලබාදෙන බවත් පැවසූ බස්නායක මහත්මිය ඒ අනුව මේ වන විට මෙම 21 වන අදියර ද සහිත ව යුද හමුදාවේ 407 දෙනෙකුට, නාවික හමුදාවේ 203 දෙනෙකුට, ගුවන් හමුදාවේ 121 දෙනෙකුට හා පොලිසියේ 167 දෙනෙකුට මෙම වැඩසටහනෙහි ප්‍රතිලාභ ලැබී ඇති බවත් පවසා සිටියාය.
     
    අනතුරුව අදහස් දැක්වූ ආරක්‍ෂක ලේකම් බී. එම්. යූ. ඩී. බස්නායක මහතා ත්‍රස්තවාදය පරදා අප රටට නිදහස දිනාදුන් රණ විරුවන් හැමවිටම ආරක්‍ෂා කිරීම අපගේ ප්‍රධාන යුතුකමක් වන බව පවසා සිටි අතර ආරක්‍ෂක අමාත්‍යංශය ඒ සඳහා ත්‍රිවිධ හමුදාවේ සුභසාධක අංශයන් ද සහභාගී කරවා ගෙන නිරන්තරයෙන්ම විවිධ සුභසාධක වැඩසටහන් ආරම්භ කර ඇති බවත් ඉදිරියේ දී ද මෙතුළින් රණ විරු සාමාජිකයනට තව තවත් ප්‍රථිලාභයන් අත්කර ගත හැකි වනු ඇති බවත් පවසා සිටියේය. එසේම මෙම ණය මුදල අරපරෙස්සමින් යුතුව නියමිත කාර්යයෙහි යොදවා තම නිවාස සිහිනය සම්පූර්ණ කරගත යුතු බව පැවසූ ආරක්‍ෂක ලේකම්තුමා පැමිණ සිටි සියලු දෙනාටම සුභ පැතීමට ද අමතක නොකළේය.
     
    නිවාස ණය ප්‍රදානය කිරීම ආරක්‍ෂක ලේකම්තුමා, අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීතුමාගේ බිරිද හා ත්‍රිවිධ හමුදා සේවා වනිතා ඒකකවල සභාපතිවරියන් අතින් සිදු කෙරිණි.
     
    මෙම අවස්ථාව සඳහා අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකයේ උප සභාපතිනිය වන ඉන්දු රත්නායක, ත්‍රිවිධ හමුදා සුභසාධක සේවා සභාපතිවරු, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් හා ආරක්‍ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකයේ සාමාජිකයන් ද සහභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya