ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    පොලිස් නිලධාරීන් සඳහා වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් Featured

    නොවැම්බර් 25, 2016
    ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් සඳහා වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් හදුන්වාදීමට අවධානය යොමුව ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානි නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (24) නාරාහේන්පිට පොලිස් රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි. 
     
    එම රෝහල් පරිශ්‍රය නිරීක්ෂණය කළ අමාත්‍යවරයා ඇදන් 84 කින් යුක්තව ඉදිවන නව ගොඩනැගිල්ල ද සිය නිරීක්ෂණයට ලක් කරනු ලැබීය. නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් සහ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණ සිටි පොලිස් නිලධාරීන් සහ එම පවුල්වල සාමාජිකයන් සමග සුහදව අදහස් හුවමාරු කරගැනීමට ද අමාත්‍යවරයා විසින් කටයුතු කරනු ලැබීය. 
     
    පොලිස් රෝහලේ සංවර්ධනය පිළිබඳ ව අවධානය යොමුකිරිම වැදගත්වන බවත් එහිදී මනා සැලසුමක් ඇතිව එම සංවර්ධන කටයුතු සිදු කළ යුතු බවද ප්‍රකාශ කළ අමාත්‍යවරයා එහිදී රෝහලේ භෞතික සංවර්ධනය යටතේ නවීන රෝහලක මට්ටමට එම සංවර්ධනය සිදු කළ යුතු බවත් මෙම රෝහලට පැමිණෙන රෝගීන්ට ගුණාත්මක සේවයක් මෙන්ම මෙහි කාර්යමණ්ඩලයටද උසස් සේවයක් ලබාදිය හැකිවන බවද පැවසිය. 
     
    එමෙන්ම මෙම රෝහලෙන් ලබාදෙන්න වූ සේවාවන්වල ගුණාත්මක භාවය ද සැලකිල්ලට ගතයුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය. ඒ සියලු අවශ්‍යතාවන් සඳහා රජය මුදල් යොදවන බවත් එම මුදල් නිසි කළමනාකරණයකින් යුක්තව යොදාගත යුතු බවද පවසා සිටියේය. 
     
    මේ වනවිට නාවික හමුදාව සතුව රක්ෂණ ක්‍රමයක් පවතින බවත් එමගින් ලක්ෂ 15 දක්වා රක්ෂණ මුදල් ලබාදෙන අතර එමගින් වෙනත් රෝහල්වල හෝ විදේශයකට ගොස් හෝ ප්‍රතිකාර ලබාගත හැකි බවද පෙන්වා දුන් අතර මෙවැනි ක්‍රම යොදාගනිමින් මෙම රෝහලට පැමිණෙන රෝගීන්ට මෙන්ම පොලිස් රෝහලට ප්‍රතිකාර ලබාගැනීමට පැමිණීමට නොහැකිවන රෝගීන් පිළිබඳව ද නිසි අවධානයක් යොමුකළ යුතු බව වැඩිදුරටත් පෙන්වා දුන්නේය. 
     
    පොලිස් රෝහලේ දියුණුව උදෙසා රෝහල් පරිපාලනය, සෞඛ්‍ය අමාත්‍යංශයේ සහය ආදී අවශ්‍ය සම්පත් ඇතුළු සියල්ල ලබාදීමට රජය කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය. 
     
    මෙම අවස්ථාවට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු ජේෂ්ඨ පොලිස් නිලධාරීන් සහ වෛද්‍යවරුන් ඇතුලු රෝහල් කාර්යමණ්ඩලයේ සාමාජිකයන් ද එක්ව සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya