ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ආයුර්වේද උපාධිධාරීන් සියලු දෙනාට රැකියා ලබාදෙන්න අවශ්‍ය කටයුතු කරනවා

    මැයි 11, 2015
    දේශීය ආයුර්වේදය ශක්තිමත් කිරීම සඳහා ආයුර්වේද උපාධිධාරීන් සියලු දෙනාට රැකියා ලබාදීම සඳහා කැබිනට් මණ්ඩලයට වාර්තා කළ බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ ඖෂධීය ආහාරපාන භාවිතය ජනප‍්‍රිය කිරීම හා ස්වයංරැකියාලාභීන් දිරිගැන්වීම යන අරමුණු පෙරදැරිව ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් බෙදාදෙනු ලබන කොළ කැඳ කරත්ත 12ක් හා ඊට අදාළ ගිවිසුම්පත‍්‍ර කළුතර දිස්ත‍්‍රික්කයෙන් තෝරාගන්නා ලද ප‍්‍රතිලාභීන් වෙත පිරිනැමීම වෙනුවෙන් පසුගියදා කළුතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල පරිශ‍්‍රයේ පැවති උත්සවයකට එක්වෙමිනි. මෙහිදී ආයුර්වේද සංරක්ෂණ මධ්‍යස්ථාන සඳහා බෙහෙත් ඇඹරුම් යන්ත‍්‍ර හා තෙල් සිදීමේ යන්ත‍්‍ර ද ලබාදීමට කටයුතු කළේය.
     
    දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් ක‍්‍රියාත්මක දේශීය ආයුර්වේද හා ආහාර ප‍්‍රචලිත කිරීමේ වැඩසටහනට සමගාමිව මෙම වැඩසටහන පැවැතිණි. දීප ව්‍යප්තව දිස්ත‍්‍රික්ක 10ක මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට දේශිය ආයුර්වේද දේපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. ඒ අනුව දැනටමත් දිස්ත‍්‍රික්ක 08ක මෙම වැඩසටහනේ කටයුතු අවසන්ව තිබේ. එම දිස්ත‍්‍රික්ක ලෙස අනුරාධපුර, හම්බන්තොට, කුරුණෑගල, ගම්පහ, කොළඹ, නුවර, නුවරඑළිය, ගාල්ල යන දිස්ත‍්‍රික්ක පෙන්වා දිය හැක. එම වැඩසටහනේ 09 වන දිස්ත‍්‍රික්කය ලෙස තෝරාගෙන ඇත්තේ කළුතර දිස්ත‍්‍රික්කයයි. මේ සඳහා කොළ කැඳ කරත්ත හා පාපැදි 90ක් බෙදාදීම දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ බලාපොරොත්තුවයි. 
     
    මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා, අතිගරු ජනාධිපතිතුමාගේ දින 100 වැඩපිළිවෙළට සමගාමිව මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කරනු ලබනවා. මෙම ප‍්‍රදානයන් දිවයිනේ සියලු ම දිස්ත‍්‍රික්කවලට ලබාදීමට බලාපොරොත්තු වෙනවා. මෙමඟින් කොළ කැඳ වර්ග ජනතාව අතර ජනප‍්‍රිය කරවීම තමයි අපේ අරමුණ වෙන්නේ. මෙම කොළකැඳ කරත්ත අපි දෙන්නේ එක් එක් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නගරවල තියාගෙන විකුණන්න. කොළකැඳ ශරීරයට හොද ඔසුවක්. තේ එකක් බොනවා එහෙම නැත්නම් කෝපි එකක් බොනවා වගේ නොවෙයි. අපිට මේවා පුරුදු කළේ ලන්දේසීන්, තේ එක අපිට පුරුදු කළේ සුද්දන්. කොළකැඳ කියන එක පාරම්පරිකව අවුරුදු දෙදහස් ගණනක් අපේ ජාතික පානයක්. අනිකුත් කෘත්‍රිම බීම වර්ග බිවාම ශරීරය ලෙඩ වෙනවා. කොළකැඳ මඟින් ශරීරයේ ලෙඩ සුවපත් වෙනවා.
     
    මෙම කොළකැඳ අපි ලබාදෙන්නේ ඉහළ ප‍්‍රමිතියකින් යුක්තවයි. ඒ වගේම ආයුර්වේද සංරක්ෂණ මධ්‍යස්ථානවලට නොයෙකුත් ආයුර්වේද නිෂ්පාදන කුඩුකර ගැනීමේ නව යන්ත‍්‍ර බෙදා දෙනවා. එක පැත්තකින් මෙය ස්වයංරැකියාවක්. අනෙක් පැත්තෙන් දේශීය ආයුර්වේද ක‍්‍රමය ප‍්‍රචලිත කිරීමක්. බටහිර වෛද්‍යවරයෙක්ට වුණත් සමහර බටහිර වෛද්‍ය ක‍්‍රමයෙන් විසඳුම් නැති ලෙඩ රෝග තිබෙනවා. අවසාන විසඳුමක් නැහැ. අපේ ආයුර්වේද උපාධිධාරීන් විශාල ප‍්‍රමාණයක් ඉන්නවා. එම පිරිසට රුකියා ලබාදෙන්න කැබිනට් මණ්ඩලයට වාර්තා කළා. රැකියා නොමැතිව හිටිය ඩිප්ලෝමාධාරීන්ටත් අපි රැකියා ලබාදීලා ඒ අය දේශීය ආයුර්වේදය ශක්තිමත් කිරීමට රට පුරා යැවීමට කටයුතු කරනවා.
     
    දැන් වකුගඩු රෝගය විශාල වශයෙන් පැතිරිලා. ඒ සමහර කලාපවල රෝගීන් මගෙන් ඉල්ලුවා අපිට ඩලසිස් එපා ආයුර්වේද වෛද්‍යවරුන් ටික ලබාදෙන්න කියලා. ඩයලසින් මැෂින්වලට වියදම් කරන්න එපා. මැෂින් එකක් රුපියල් ලක්ෂ 25ක් පමණ වෙනවා. අපි මේ වැඩපිළිවෙළවල් ගෙනියන්නේ ජනතාව අතර දේශීය වෛද්‍යක‍්‍රමය ප‍්‍රචලිත කරන්නයි. දියවැඩියා රෝග තත්ත්වය ගත්තොත් අපි කරන්නේ ඉන්සියුලින් පෙති මඟින් හෝ එන්නත් මඟිනුයි. ශරීරයට අවශ්‍ය ඉන්සියුලින් ප‍්‍රමාණය අඩුවුණාම කෘතී‍්‍රමව ලබාදෙනවා. එය දිගටම ලබාදීම මඟින් වෙන්නේ තව තවත් ඉන්සියුලින් නිෂ්පාදනය ශරීරියේ අඩුවීමයි. එවිට රෝගියාට මුළු ජීවිත කාලයම කෘත‍්‍රිම ඉන්සියුලින් දීමට සිදුවෙනවා. නමුත් අද ආයුර්වේද වෛද්‍යවරුන් ආයුර්වේදයේ වෛද්‍යක‍්‍රම හොයාගෙන තිබෙනවා නිට්ටාවටම දියවැඩියාව සුව කිරීමට. හෘද රෝග, කපාටවල, රුධිර නාලවල තිබෙන කොලෙස්ටරෝල් හිරවීම් ඒ ඔක්කොම දිය කරන්නට අද ආයුර්වේද ඖෂධ වර්ග තිබෙනවා. ආයුර්වේද ඖෂධ ලබාගන්නා ඔසු උයන් සංවර්ධනය කරන්න සාකච්ඡා කළා . අපිට අවශ්‍ය ඖෂධ සියල්ල ලංකාවේ හැදිය යුතුයි. හැමදේම පිටරටින් ගේන්න තමයි පුරුදුවෙලා තියෙන්නේ. පළමුවැනි ඔසු උයන නිකවැරටියේ විවෘත කළා. ඉතුරු ඔසු උයන් ආයුර්වේද සංස්ථාවට අරන් දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. ලබන 29 දා පළමුවැනි ආයුර්වේද සෙන්ට‍්‍රල් එක විවෘත කරනවා. නව ආයුර්වේද නිෂ්පාදන වෙළෙඳපොලට නිකුත් කරනවා. ඒ අනුව ආයුර්වේදය හැකි තරම් ප‍්‍රචලිත කර නවීන තත්ත්වයට ගොඩනගන්නත්, පැරණි ඖෂධ ක‍්‍රම අරගෙන නවීන ආකාරයෙන් ඉදිරිපත් කිරීමටත් බලාපොරොත්තු වෙනවා. තව අවුරුදු දෙක තුනක් යනකොට හොඳ ආයුර්වේද ක‍්‍රමයක් ලංකාව පුරා ප‍්‍රචලිත කරන්න පුළුවන්. බටහිර වෛද්‍ය ක‍්‍රමය වගේම දියුණු වෛද්‍ය ක‍්‍රමයක් බවට ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය ගොඩනගන්නට ඉන් හැකි වන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය. 
     
    මෙම අවස්ථාවට කළුතර දිස්ත‍්‍රික් ලේකම් යු.ඩි.සී. ජයලාල්, ආයුර්වේද කොමසාරිස් පාලිත වීරකෝන්, දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) සී.ඩබ්.පී. දයාරත්න හා අතිරේක ලේකම් විජිතා සෙනෙවිරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ. 
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya