ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    උඩර‍ට දුම්රිය මාර්ගයේ ධාවනයට යුරෝපයෙන් නව දුම්රිය එන්ජින්

    ඔක්තෝබර් 18, 2016
    යුරෝපීයයන් විසින් සුවිශේෂී පිරිවිතරයන්ට අනුව සැකසු උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය සඳහා අවශ්‍යව තිබෙන දුම්රිය එන්ජින් හා මැදිරි යුරෝපයෙන් ආනයනය කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට ජාතික රජය විසින් සිදුකර ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දින බදුල්ල දුම්රිය ස්ථාන පරිශ්‍රයේ රුපියල් ලක්ෂ 320ක වියදමින් ඉදිකෙරන කාමර 10 කින් යුතු නව මගී ගිමන්හලට මුල්ගල් තැබීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.
     
    දැනට උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය කරන දුම්රිය එන්ජින් හා මැදිරි වසර 30කට ආසන්න පැරණි ඒවා බවත් එම එන්ජින් නොයෙක් අවස්ථාවන්හිදී අතරමඟදී ක්‍රියාවිරහිත වීම නිසා මගීන් දැඩි අපහසුතාවකට පත්වන බැවින් මගී ජනතාවගේ ගමන් පහසුව සඳහා මෙම නව දුම්රිය එන්ජින් හා මැදිරි ගෙන්වීමට සියලු කටයුතු දුම්රිය දෙපාර්තමේන්තුව, අමාත්‍යාංශය හා එක්ව සිදුකර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 
     
    "එමෙන්ම මේ වන විට දුම්රියෙන් මගී හා භාණ්ඩ ප්‍රවාහනය තුළින් උඩරට ප්‍රදේශයේ ආර්ථිකයේ විශාල පිබිදීමක් ඇතිවී තිබෙනවා. එමෙන්ම උඩරට දුම්රිය මාර්ගයේ කටයුතු නවීකරණය කිරීම තුළින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ වර්ධනයට විශාල තෝතැන්නක් වී තිබෙනවා. මෙම දුම්රිය මාර්ගය නවීකරණය තුළින් හා නව දුම්රිය එන්ජින් හා මැදිරි යෙදීම තුළින් කොළඹ සිට උඩරට බලා යන දෙස් විදෙස් සංචාරකයින් වැඩි පිරිසකට දුම්රිය පරිහරණය කිරීමට හැකිවෙනවා. ඒ තුළින් දුම්රිය දෙපාර්තමේන්තුවට වැඩි ආදායම් උත්පාදනයක් ඇති කිරීමට හැකියාව ලැබෙනවා".
     
    මෙම ගිමන්හල මාස 06ක් වැනි කාලයක් තුළ දී තනා නිමකොට ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර තිබේ. එමෙන්ම ප්‍රධාන දුම්රිය ස්ථාන 10ක මෙවැනි ගිමන්හල් ආරම්භ කිරීමට ද සැලසුම් කර ඇත.
     
    මෙම අවස්ථාවට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, දුම්රිය සාමාන්‍යාධිකාරි ආරියරත්න යන මහත්වරු ඇතුළු දේශපාලන නායකයින් පිරිසක් ද, දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද සහභාගි වුහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya