ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    “අනාගත දරු-පරපුරට ණය ඉතිරි කරන්නේ නෑ. රටේ ආදායම ඉහළ නැංවීම අපේ අරමුණයි“ - අමාත්‍ය දයා ගමගේ

    නොවැම්බර් 28, 2016

    අනාගත දරු-පරපුරට ණය ඉතිරි නොකර ඔවුන්ගේ හිස මතින් ණය බර නිදහස් කිරීම වත්මන් ආණ්ඩුවේ අරමුණ බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.

    එසේම කෘෂි හා ධීවර අධිකලාප ස්ථාපිත කිරීම හා නිෂ්පාදනය ඉහළ නැංවීම තුළින් අපනයනය ඉහළ නංවමින් රටේ ආදායම ඉහළ නැංවීම අපේ අරමුණ බව ද අමාත්‍යතුමා සදහන් කළේය.

    ඊයේ (27) කුරුණෑගල මාලිගාපිටියේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ‘සවිය ණය යෝජනා ක්‍රමය‘ යටතේ ප්‍රථම අදියරේ ණය ලබා දීමේ උත්සවයට සහභාගී වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ දයා ගමගේ අමාත්‍යතුමන් මෙසේ ද කියා සිටියේය.

    “මම පසුගිය කාලේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආසන හයක පමණ සමීක්ෂණය කළා මේ ප්‍රදේශයේ ප්‍රාථමික කර්මාන්ත සංවර්ධනය කිරීම පිළිබදව. මම හිතනවා ඔබතුමන්ලා මේ රටේ ඉන්න ඉතාම වාසනාවන්තම පිරිසක් කියලා. කුරුණෑගල දිස්ත්‍රික්කය ඈත අතීතයේ සිටම ස්වභාවික සම්පත් බහුල ප්‍රදේශයක්. අදත් එහෙමයි.

    ජනවාරි 8 වැනිදා ඔබතුමන්ලා මේ රටේ සිද්ධ කරපු දේශපාලන වෙනසින් පස්සේ බලයට පත් වුණු ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය භාර දීලා මට දීපු අභියෝගය තමයි වසර 2020 වන විට අපනයනය දෙගුණයක් කරන්න කියන එක. අපිට පහුගිය කාලේ අපනයනය දෙගුණයක් කරන්න අවුරුදු 15ක් ගිහිං තියනවා. නමුත් තායිලන්තය වියට්නාමය වගේ රටවල් අවුරුදු පහෙන් අපනයනය දෙගුණයක් වෙලා තියනවා. මේ අභියෝගය අපිට ජයගන්න පුළුවන්.

    ඔබතුමන්ලාගේ පැත්තේ බහුලවම තියන පොල් අරගත්තොත් අපි ඒ පොල් වලින් ඩොලර් මිලියන 500ක පමණ අපනයන ආදායමක් ලබා ගන්නවා. නමුත් අද අපිට සිද්ධ වෙලා තියනවා රටේ ආදායමෙන් වැඩි කොටසක් පසුගිය ආණ්ඩුව ගත්ත ණය වල ණයයි පොළියයි ගෙවන්න. ඒ වගේම රජයේ සේවකයින්ගේ වැටුප් ගෙවන්නත් අපිට විශාල මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා.

    අපි කල්පනා කරන්න ඕනි මේ ණය බර අපේ දරුවන්ටත් උරුම කරලා දෙනවද කියලා තීරණය කරන්න. අපිට එහෙම කරන්න බෑ.

    ඒක නිසා තමයි අගමැතිතුමා යෝජනා කළේ කෘෂිකර්ම අධිකලාප 23ක් ධීවර අධි කලාප 10ක් හදලා අපේ රටේ අපනයන ආදායම වැඩි කරන්න ඕනි කියලා. අපි බලාපොරොත්තු වෙනවා 2020 වන විට අපනයන ආදායම මිලියන 25000ක් බවට පත් කරන්න. අද ඔබතුමන්ලාට අපි මේ කර්මාන්ත හදුන්වාදෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ අගයදාමය සංවර්ධනය කිරීම.

    විශේෂයෙන්ම මම කල්පනා කරනවා 2017 වසර අවසන් වන විට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය විසින් යෝජනා කරලා තියන අන්නාසි වගා නව ව්‍යාපෘතියෙන් අඩක් නිම කරන්න. මගේ අපේක්ෂාව 2020 වන විට අක්කර 25000ක අන්නාසි වගා කරන්න. මේ හරහා විශාල අපනයන ආදායමක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා විසිතුරු මල් වගා ව්‍යාපෘති ප්‍රචලිත කරන්න. මේ හරහා කාන්තාවන්ට ආදායමක් ලබන්න පුළුවන්.

    මම නිරීක්ෂණය කළා දැනට අත්හැරලා දාලා තියන ඇපලදෙණිය බුලත් වගා ව්‍යාපෘතිය. මම බලාපොරොත්තු වෙනවා ඒ වැඩසටහනට ආයෙත් පණ දීලා ක්‍රියාත්මක කරන්න.

    ලබන වසරේ මාර්තු මාසය වෙන්න කළිං කෘෂි අධිකලාපයක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇති කරන්න අපි කටයුතු කරනවා.

    ඒ වගේම මේ ප්‍රදේශයේ තියන වැව් ආශ්‍රිතව ධීවර කර්මාන්තය දියුණු කරන්න අපේක්ෂා කරනවා. අපේ රටේ වැව් දහස් ගණනක් තිබිලාත් රට වටේම මුහුද තිබිලත් අපි අදත් මත්ස්‍ය නිෂ්පාදන පිටරටින් ගේනවා. මේ වැඩේ අපි නතර කරලා අපි නිෂ්පාදනය කරන මත්ස්‍ය නිෂ්පාදන විශාල වශයෙන් අපනයනය කරන තැනකට පත් කරන්න අවශ්‍යයි. ඒ සදහා අභ්‍යන්තර වැව්වල ධීවර කර්මාන්තය ජනප්‍රිය කරන්න අවශ්‍යයි.“

    මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන ගාමිණී ජයවික්‍රම පෙරේරා  එස්.බී. නාවින්න යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya