ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    වර්ගවාදය අප රට තුළ නිර්මාණය කළේ සුදු අධිරාජ්‍යවාදීන්ගේ අවශ්‍යතාවටයි

    අගෝස්තු 28, 2014
    අපේ රටේ තවමත් පිළිලයක්ව පවතින වර්ගවාදය අප රට තුළ නිර්මාණය කළේ සුදු අධිරාජ්‍යවාදීන්ගේ අවශ්‍යතාවට අනුව බව පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා පවසයි.


    ඒ මහතා මේ අදහස් පැවසුවේ, ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන සමාජ ඒකාබද්ධතා වැඩසටහන් මාලාවේ පොලොන්නරුව දිස්ත්‍රික් වැඩසටහනට එක්වෙමිනි. මේ වැඩසටහන අද (28) පොලොන්නරුව, නව නගරයේ ධවල මන්දිරයේදී පැවැත්විණි.

     

    දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීය. "මරක්කල කියල ජන කොටසක් ඉන්නේ ලංකාවේ විතරයි. කවුද මේ මරක්කල කියන්නේ, ලන්දේසීන් අප රට ආක්‍රමණය කරන්න පෙර කිව්වේ යෝනක කියලයි. ලංකාවට වෙළෙඳාම් පිණිස පැමිණි මුස්ලිම්වරු, මුස්ලිම් කාන්තාවන් රැගෙන මෙහෙ ආවේ නැහැ. ඔවුන් විවාහ වුණේ අපේ සිංහල කාන්තාවන් සමඟයි. ඒ නිසා සිංහලයන් ද මුස්ලිම්වරුන් ද ලේ නෑයන් බව අමතක කරන්න එපා. 

     

    මරක්කල කියන නම දීලා තියෙන්නේ අපේ කන්ද උඩරට රජවරු බව ඉතිහාස කතාවල සඳහන් වෙනවා. මඩකළපුව ප්‍රදේශයේ සංචාරය කළ කන්ද උඩරට සිංහල රජතුමාව තම දිවි පරදුවට තබා ලන්දේසීන්ගෙන් ආරක්ෂා කර ගත් කාන්තාවක් ලන්දේසීන් විසින් ගෙල සිඳ මරා දමන ලද අයුරු රජතුමා දුටු බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. 'මා රැක්ක ලේ' යනුවෙන් කන්ද උඩරට සිංහල රජතුමා ඔවුන්ව හැඳින් වූ අතර පසුව එය මරක්කල වූ බවයි ජනප්‍රවාදයේ සඳහන් වන්නේ. ඔවුන්ට මහනුවර අකුරණ ප්‍රදේශය තෑගි ලෙස ප්‍රදානය කළ බවත් ඉතිහාසයේ සඳහන් වේ.

     

    මේ අපේ සිංහල, මුස්ලිම් සම්බන්ධතාව. ද්‍රවිඩ පිරිස සමඟත් රජ දවස සිට අපේ ලොකු නෑකමක් තිබුණා. විශේෂයෙන්ම පොලොන්නරුව යුගයේ රජවරු අගමෙහෙසීන් කැන්දාගෙන ආවේ ඉන්දියාවේ මදුරාපුරයෙන්. ඔවුන්ට බෞද්ධ වෙහෙර විහාර අසල ම තම ආගම් ද ඇදහීම සඳහා හින්දු කෝවිල් තනාදීමට තරම් එදා රජවරුන් ආගමික නිදහස ආරක්ෂා කළ බව අද ද පොලොන්නරුවේ ඉතුරුව ඇති ශිව දේවාල සාක්ෂි දරනවා. එදා කිසිම ආගම්වාදයක් හෝ ජාතිවාදයක් පැවතුණේ නැහැ. ඒ නිසා අපේ අවසන් සිංහල රජතුමා, ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඉන්දියානු සම්භවයක් ඇති පුද්ගලයෙකු බවට පත් වුණේ. 

     

    අපේ රටේ දේශපාලන පක්ෂ බිහිවීමත් සමඟ ඇන්.ඇම්. පෙරේරා වාමාංශික නායකයා වටා ද්‍රවිඩ ජනතාව එකතුවන බව තේරුම් ගත් අධිරාජ්‍යවාදීන් 1952 ද්‍රවිඩ ජනතාවගේ ඡන්ද බලය අහෝසි කළා. අධිරාජ්‍යවාදීන් ලංකාවේ වාමාංශික ව්‍යාපාරය වර්ධනය වනවාට කැමති වුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස සිංහල බහුතර ඡන්දයෙන් එක්සත් ජාතික පක්ෂයට බලයට එන්න හැකි වුණා. මෙය තමා ඓතිහාසික සත්‍යය. මේ රටේ වරප්‍රසාද ලත් පාලක පන්තිය ඔවුන්ගේ බලය සඳහා වාර්ගිකත්වය පාවිච්චි කළා. එදා ඇන්.ඇම්. පෙරේරා වාර්ගිකත්වය දේශපාලනත්වය සඳහා භාවිත කරන්න එපා යැයි" ඉල්ලා සිටියා.

     

    කාලයක් සිංහල කියලත් ශ්‍රී අකුරක් එක්කත් අප ලේ වගුරවා ගත්තා. පසුගිය දශක තුන හතරක කාලය තුළ සිංහල ජනතාව දිහා ද්‍රවිඩ ජනතාවත් ද්‍රවිඩ ජනතාව දිහා සිංහල ජනතාවත් බැලුවේ සැකයෙන්. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් කුරිරු ත්‍රස්තවාදය ජය ගැනීමත් සමඟ අද අපි බිය කඳුළු වෙනුවට සතුට හා සිනහව භුක්ති විඳිනවා. මේ බිඳුණු සහෝදරත්වය ඇති කරන්න මේ රජය හැම දෙයක්ම කරන්නේ. හැබැයි එය එතරම් පහසු කටයුත්තක් නොවන බව ද දැන ගෙන අප කටයුතු කළ යුතු වෙනවා යැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

     

    දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක භාෂා සංගම් සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවති මේ උත්සවයේදී විවිධ සංස්කෘතික අංගයන් රැසක් ද ඉදිරිපත් කෙරිණි. මෙහිදී කොට්ඨාස අධ්‍යාපන නිලධාරී එස්.එච්. මොහොමඩ් මුස්තාපි, කේ. රාසනායගම් යන මහත්වරු ද අදහස් ප්‍රකාශ කළහ.

     

    මේ අවස්ථාවට පොලොන්නරුව සහකාර දිස්ත්‍රික් ලේකම් එච්.කේ.ජී. නිරෝෂණ සහ ප්‍රධාන පරිපාලන නිලධාරී තිස්ස දයාරත්න යන මහත්වරු එක් ව සිටියහ.

     

    NDH/WK_dmu_polonnaruwa 

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya