ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    අනුරපුර මහා විහාරය යළි සඟ සතු කොට පූජා කිරීමට පියවර

    සැප්තැම්බර් 03, 2014
    අනුරාධපුර  මහා විහාරය නැවත ගොඩනැගීම හා අලුතින් ඉදිකරන ලද ගොඩනැගිලි සංකීර්ණය සඟ සතු කිරීමේ පුණ්‍ය මහෝත්සවය, එළඹෙන උඳුවප් මස පුර පසළොස්වක පොහෝ දිනයේ දී සිදුකිරීමට පියවර ගෙන තිබේ.

     ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක්  මහා විහාර රැස්වීම් ශාලාවේ දී ඊයේ (02) පැවැත්විණි. ඒ  ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ, උතුරු මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක, අටමස්ථානාධිපති, ආචාර්ය අති පූජ්‍ය ප‍ල්ලේගම සිරිනිවාස හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි. මෙම අවස්ථාවේ අනුශාසනා කරමින් උන්වහන්සේ සඳහන් කළේ ,  මහා විහාරය  නැවත ගොඩ නගා සංඝගත ‍කර පූජා කිරීමක් මෙලෙස  සිදුකරන්නේ වසර 800කට පමණ පසුව බවයි. මීට පෙර එවැන්නක් සිදුව ඇත්තේ පරාක්‍රමබාහු රජ සමයේ දී ය.
     

    කිසිදු පහසුකමකින් තොරව වුවත් මහා විහාර භුමියේ සිට ජය ශ්‍රී මහා බෝධීන් වහනසේ රැක ගැනීමට  ගිහි - පැවිදි පිරිස් අතීතයේ සිදු කළ මෙහෙවර අපමණ බව මේ අවස්ථාවේ අනුශාසනාවක් පැවැත්වු, සියම් මහා නිකායේ උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, ලංකාරාමාධිපති, පූජ්‍ය රළපනාවේ ධම්මජෝති හිමියන් සඳහන් කළේය.

     

    මීට සමගාමී ව වාර්ෂිකව සිදුකරන සංඝමිත්තා පෙරහැර පැවැත්වීමට ද කටයුතු යොදා තිබේ. එය මෙවර පැවැත්වෙන්නේ 52  වන වරටයි. ‍ සංඝමිත්තා මෙහෙණින් වහන්සේගේ 2322 වන ගුණානුස්මරණය නිමිති කර ගනිමින්  පවත්වන මෙවර පෙරහැර සඳහා දිවයින පුරා සිටින මෙහෙණින් වහන්සේලා 700කට ආසන්න සංඛ්‍යාවක් වැඩම කිරීමට නියමිතය.
     

    එළඹෙන උඳුවප් පොහෝ දිනයේ දී දාන, සීල, භාවනා වැඩසටහන්, පෙරහර, පිරිත් දේශනා  ආදියෙන් සමන්විත විශාල පුණ්‍ය උත්සවයක් ලෙස මෙය පැවැත්වෙනු ඇත. මෙලෙස මහා විහාරය යළි පණ ගැන්වීමේ කටයුත්තේ දී ශ්‍රී මහා බෝධි භාරකාර සංවර්ධන අරමුද‍ලේ සභාපති ලෙස කටයුතු කරන අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් මහින්ද සෙනවිරත්න මහතාගේ කැපවීම  අගය කරන බව අටස්ථානාධිපති හිමියෝ එහිදී ප්‍රකාශ කළහ. 


    බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රප්‍රේම ගමගේ, අනුරධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් එල්.පී. මදනායක යන මහත්වරුන් ඇතුළු නිලධාරිහු විශාල පිරිසක් මේ අවස්ථාවට එක් ව සිටියහ.
     
    ECB/SB_dmu_Anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya